keheliya-vehicle-house

 බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත ඛන්ධනාගාරගත කර සිටියදීත් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ඔහුට දුන් නිල වාහන දෙක හා නිල නිවෙස තවමත් භාවිත කිරීමට අදාළ තොරතුරු ලබන 14 වැනිදාට පෙර නොදුන්නොත්

නීති මගින් කටයුතු කරන බවට අල්ලස් කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.‍මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු වහාම ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගිය 19 වැනිදා දැනුම් දී ඇතත්, පසුගිය 6 වැනිදා තෙක් කිසිදු තොරතුරක් දැනුම් දී නැතැයි අවධාරණය කරන අල්ලස් කොමිසම,

ඊට අදාළ තොරතුරු ලබන 14 වැනිදාට පෙර ලබා නොදුන්නොත් නීති මගින් කටයුතු කරන බවට මෙලෙස දැනුම් දී ඇත.

අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්.කේ.ඩී. විජේසේන මහතාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට සිහි කැඳවීමක් මගින් මේ බව දැනුම් දී ඇත.බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කර මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත්, ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අවභාවිත කරන හෙයින්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා පසුගිය මාර්තු 17 වැනිදා අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දුන් නිල වාහනවලට අමතරව ඔහුට රජයෙන් දුන් විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස ද මේ වන තෙක් රජයට බාර නොදී, ඔහුගේ දූ දරුවන් අවභාවිත කරන බව ද, මෙමගින් විශාල මහජන මුදලක් විනාශ වන බව ද පෙන්වා දී ඇති ජාමුනි කාමන්ත තුෂාර මහතා, බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල බැලීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් බන්ධනාගාරයට පැමිණෙන්නේ ද සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට දුන් එම නිල වාහන වලින් බව ද පෙන්වා දී ඇත.

රාජ්‍ය දේපළ අවභාවිත කිරීම අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන දූෂණය යටතේ වන වරදක් යැයි ද, මහජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වන අමාත්‍යවරුන්ට ලබා දුන් රාජ්‍ය දේපළ මෙලෙස අවභාවිත කිරීමෙන් රජයට වූ අලාභය ගණනය කර,

රාජ්‍ය දේපළ අවභාවිත කළ අයගෙන් රජයට වූ අලාභය යළි අය කරගැනීමට කටයුතු කරන්නැයි ද කාමන්ත තුෂාර මහතා ඉල්ලීමක් කර තිබිණි.

අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් වහාම තොරතුරු සපයන ලෙස අල්ලස් කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතත්, මෙතෙක් ඊට අදාළ තොරතුරු ලබා නොදීම නිසා අදාළ සිහි කැඳවීම කරන අල්ලස් කොමිසම, ලබන 14 වැනිදාට පෙර අදාළ තොරතුරු ලබා නොදුන්නොත්, කොමිෂන් සභාවේ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම, නොසලකා හැරීම හෝ නොකර හැරීම යටතේ දූෂණ විරෝධී පනතේ 126 (1) යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව කටයුතු කරන බව ද දැනුම් දී ඇත.

මනෝප්‍රිය ගුණසේකර