iran-helicopter-accident-live-president-fm-on-missing

පසුගියදා ශ්‍රී ලංකාවටද පැමිණ ගිය  ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඉරිදා හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී අයහපත් කාලගුණ සහිත ප්‍රදේශයක ගමන් කරද්දී අනතුරකට ලක්ව ඇතැයි වාර්තාවේ.වේල්ලක් විවෘත කිරීමේ රාජකාරී කටයුත්තක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්දොල්ලාහියන් ද රැගත් හෙලිකොප්ටරයෙන් ගමන් ගනිද්දී අයහපත් කාලගුණ තත්වය මැද අන්තරායකාරී ගොඩබෑමකට ගිය බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.


නමුත් යානය ගොඩබැස්ස ස්ථානය නිශ්චය නොවූ අතර එය සොයා මෙහෙයුම් අරඹා තිබේ.

ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරය තවම සොයා නොගත් බවත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කරන බවත්
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුණි.
කෙසේ වෙතත් ග්‍රීනිච් වේලාවෙන් 18.18 ට පමණ යානය සොයාගත් බවට එරට දේශීය වාර්තා සඳහන් කර තිබූ නමුත් ජනපතිවරයාගේ තත්වය දන්වා නොසිටි බව වාර්තාවේ.


හෙලිකොප්ටරයේ ගමන් ගත් අයගේ තත්ත්වය මෙතෙක් අනාවරණය කර නොමැත.
ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ජනාධිපති රයිසි අසර්බයිජාන් දේශ සීමාවෙන් ආපසු පැමිණීමෙන් පසුව ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්‍රිස් නගරයට යමින් සිටියේය. එහිදී ඔහු Qiz Qalasi සහ Khodaafarin වේලි විවෘත කළ බව වාර්තා විය.
ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකරුවෙකුට අනුව හෙලිකොප්ටරය ගොඩබස්වන්නට ඇතැයි සිතන ස්ථානයේ දැඩි මීදුම සෝදිසි කිරීම දුෂ්කර කර තිබේ.
කඳු සහ වනාන්තර ප්‍රදේශයේ දෘශ්‍යතාව මීටර් පහක් පමණ දක්වා අඩු වී ඇති බව ඔහු පැවසීය.
මෙම ප්‍රදේශය Tabriz සිට උතුරට 50km පමණ දුරින් පිහිටා ඇත.
නම් සඳහන් නොකළ ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ දැඩි මීදුමකින් කඳුකරය තරණය කරමින් සිටියදී "කඩා වැටීමක්" හේතුවෙන් ජනාධිපති සහ ඔහුගේ විදේශ අමාත්‍ය Hossein Amir-Abdullahian ගේ ජීවිත "අවදානමට ලක්ව ඇති" බවයි.