gov-executives-on-strike

ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් අද (02) සහ හෙට (03දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි. මෙම ගැටලු විසඳා ගැනීමට බලධාරින් සමග පසුගිය කාලයේදී සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම නිසා දෙදින වැඩවර්ජනයක් සිදුකිරිමට තීරණය කළ බවත් මෙම ක්‍රියාමාර්ගයට සමගාමීව අද (02දා) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවද පෙන්වා දෙයි.



පවතින වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොසලකා හර්මින් ගනු ලබන තීන්දු තීරණ නිසා අසාධාරණයට පත් නිලධාරීන්ට කඩිනමින් විසඳුම් ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බවද සඳහන් කරයි. පවතින ගැටලු නිසා සේවා 18ක නිලධාරින් දහඅටදහසකට අධික ප්‍රමාණයකට දැඩි අසාධාරණයන් සිදුවෙමින් තිබෙන බවත්, පසුගිය කාලය පුරාම විධායක සේවාවන් නොසලකා හරිමින් සෑම ආණ්ඩුවක්ම තීන්දු තීරණ ගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද පෙන්වා දෙයි.

අද සහ හෙට පැවැත්වෙන වැඩවර්ජන ක්‍රියාමාර්ගය සඳහා රාජ්‍ය ඉංජිනේරු සේවය,

ආයුර්වේද වෛද්‍ය සේවාව, ක්‍රමසම්පාදන සේවාව, රජයේ පශු වෛද්‍ය සේවාව, අධ්‍යාපන පරිපාලන සේවය, මිනින්දෝරු සේවාව, විද්‍යාත්මක සේවාව, ගුරු අධ්‍යාපනඥ සේවය, වාස්තු විද්‍යාඥ සේවාව, තොරතුරු හා සන්නිවේදන සේවය, කෘෂිකාර්මික සේවය, දේශීය ආදායම් සේවාව, සංඛ්‍යාලේඛනවරුන්ගේ සේවය, ධීවර හා ජලජ සම්පත් සේවය, කම්කරු කොමසාරිස් සේවාව, ගණකාධිකාරී සේවාව, තැපැල් සේවා, විධායක හා මාණ්ඩලික සේවාවල නිරත පිරිස් සම්බන්ධ වන බවද සඳහන් කරයි.
(ඉන්දික හේවාවිතාරණ)