
උපකාරක පන්තිවලට සහභාගි වන බවට නිවෙස්වලට පවසා මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානයේ අනාරක්ෂිත ස්ථානවල රැඳී සිටි තරුණ තරුණියන් පිරිසක් පොලිසියට කැඳවාගෙන විත් අවවාද කර මවුපියන් වෙත භාර දීමට මීගමුව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය 2 දින කටයුතු කර ඇත.
උපකාරක පන්තිවලට සහභාගි වන දූ දරුවන් මෙන්ම පාසල් සිසු සිසුවියන් ද පන්තිවලට සහභාගි නොවී වෙරළ උද්‍යානයට පැමිණ කාලය ගත කරන බවට ලද තොරතුරු මත මීගමුව කොට්ඨාසයේ ළමා හා කාන්තා කර්යාංශය සහ මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කර්යාංශය ඒකාබද්ධව සිදු කළ පරීක්ෂාවක දී හමුවූ තරුණ තරුණියන් පිරිසක් මෙලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ රැඳී සිටි පුත්තලම ප්‍රදේශයේ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පිළිබඳ මීගමුව මූලස්ථාන පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
මීගමුව කොට්ඨාසයේ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ආර්.එම්.එන්. රත්නායක, කාන්තා පොලිස් පරීක්ෂිකා නදීෂා සමන්මාලි, කාන්ත උප පොලිස් පරීක්ෂිකා එම්. හසීම් මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් මෙම කටයුතු සඳහා සහභාගි වී තිබේ.
කටාන - බර්ටි වීරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval