bmw-issue

තීරුබදු සහන බලපත්‍ර යටතේ රජයේ සේවකයන් සඳහා බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ වාහන 1728 ක් මෙරටට ආනයනය කිරීමේදී බරපතළ රේගු බදු වංචාවක් සිදු වී ඇතැයි සඳහන් කළ අභියාචනාධිකරණය ඒ පිළිබද නව පරීක්ෂණයක් පැවැත්වීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර දුන්නේය.අභියාචනාධිකරණය මෙම අවසරය දුන්නේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් රේගුවේදී බරපතළ අක්‍රමිකතා සිදු වී ඇති බව දැනුම් දීමෙන් අනතුරුවය.



අභියාචනාධිකරණය මෙම අවසරය දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රෙස්ටිජ් ඔටෝ මොබයිල් පෞද්ගලික සමාගම විසින් ගොනුකරනු ලැබ තිබූ පෙත්සමක් සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.තීන්දුවේ මෙසේ සඳහන් වේ

රජයේ නිලධාරීන්ට තීරු බදු සහන යටතේ ආනයනය කළ බී.එම්.ඩබ්ලිව්. වාහන 1728ක් නියම වටිනාකමට වඩා අඩු වටිනාකමක් සඳහන් කර ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයක් පැවැත්විණි. පසුව මේ සම්බන්ධ පාර්ශ්වකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව අදාළ පරීක්ෂණය අත්හිටු වීමට අධිකරණයෙන් නියෝග කෙරිණි.

ඉන් අනතුරුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නව සාක්ෂි යටතේ අලුත් පරීක්ෂණයක් ඇරඹුවේය. එම පරීක්ෂණයට එරෙහිවි පෙත් සම්කාර සමාගම මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කළේය. මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කියා සිටියේ

ජර්මන් රේගුවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අක්‍රමිතා සිදු වී ඇති බව දැනුම් දී ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ බදු වංචාවක් සිදු වී ඇති බවත් ඒ අනුව නව පරීක්ෂණයක් ඇරඹීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර දෙන බවත් තීන්දුවේ සඳහන්ය. අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවට තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ. පෙත්සම්කාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් අතිරේක  සොලිසිටර් ජනරාල් සුමති ධර්ම වර්ධන මහතා පෙනී සිටියේය.


රන්ජන් කටුගම්පොළ