anjalee-herath-speaks

 සංගීත ක්‍ෂේත්‍රය තුළ විවිධ කාලවලදී විවිධ මාතෘකා ගැන වැඩිපුර කතා කරනවා, මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන්නේ ගායක ගායිකාවන් අය කරන මිල මුදල් ගැනයි. එහිදී දෙරණ ඩ්‍රීස්ටාරි තුළින් කරළියට ආ අංජලී හෙරත් ගැනත් කතා කරනවා, ඒ ඇය සංගීත ප්‍රසංගයක් සඳහා ලක්‍ෂ 2 ක මුදලක් ඉල්ලා සිටියා යැයි කියන කාරණයත් එක්ක. ඇත්තටම මේ කතාවල ඇති අපි නොදන්න කතාව මොකක්ද? අපි අංජලීව මුණගැහුණේ ඒක ගැන අහන්නයි.

පසුගිය ඔබ අලුත් ගීත නිර්මාණ දෙකක් එළිදැක්වුවා. මුලින්ම ඒ ගැන කිව්වොත්?

ඔව් මගේ අලුත්ම ගීත දෙකක් පසුගිය දවස් වල එළිදැක්වූවා. එකක් සීමා නෑ” කියන ගීතය. අනික "ඕනෑකමයි ලොකු ” කියන ගීතය. මේ ගීත දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

ඒ අතරින් ‘සීමා නෑ" ගීතයේ මියුසික් වීඩියෝව ගැන හැමෝම කතා කරනවා?

"සීමා නෑ" ගීතයේ මියුසික් වීඩියෝව අපි කළේ රිවස්ටන්වල. උස හෙලක් පහළට කඹයක් දාලා ඒ කඹේ දිගේ අඩි ගාණක්ම පහළට බැහැලා තමයි මං වීඩියෝ එකට පෙනී හිටියේ. අදටත් ඒක මතක් වෙද්දි ඇඟේ හිරිගඬු පිපෙනවා. එදා නම් මුල්ම වතාවට මට මරණ බයත් එක්ක දැනුණා.

ඒ කියන්නේ ඔබ ගීතය වෙනුවෙන් ලොකු අවදානමක් අරන්?

ඔව් ඉතින් ජිවිතේ ගැනවත් හිතන්නේ නැතිව ලොකු අවදානමක් ගන්න වුණා.

තමන්ගේ ගම වෙච්ච අනුරාධපුරයේ ප්‍රසංගයකට ගීත ගයන්න අංජලී ලක්ෂ දෙකක් ඉල්ලුවද?
මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ඒ ගැන.

ඔව්, කවුද කෙනෙක් මං එහෙම මුදලක් ඉල්ලුවා කියලා ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තිබුණා. පස්සේ ඒක ෆේස්බුක් එකේ හැම තැනම ෂෙයාර් වෙලා තමයි ඔය රැල්ල හැදුණේ. ඇත්තම කතාව නම් මං අනුරාධපුරයේ ඔය කියන විදිහේ ප්‍රසංග යක් භාරගත්තේ නෑ. ඩ්‍රීම්ස්ටාර් වුණත් හරි දැනට මං අනුරාධපුරය අවට ප්‍රසංගවලට ගියේ දෙසැරයයි.
එක ප්‍රසංගයක් අනුරාධපුරේ තිබුණේ. අනෙක තලාවේ.



ඒ ගිය ප්‍රසංග දෙකටවත් ඔය කියන තරමේ මුදලක් ගත්තේ නැද්ද?

(සිනා සෙමින්) අපොයි නෑ. ඒ දෙක කරපු සංවිධායකයන් මං දන්න අය. ඉතින් මං එයාලට කිව්වේ, "මං කොළඹ ඉඳන් එකට එන්නේ. ඔයාලා බලලා කියක් හරි දෙන්න " කියලා. මොකද දැන් මම ඉන්නේ කොට්ටාවේ.

කොහොම හරි ඔය සිදුවීමත් එක්ක ඔබට ප්‍රසංගත් අඩුවෙන්න ඇති?

අනේ නෑ. වෙනදා වගේම ප්‍රසංග ලැබුණා.

නොකියා කියන්නේ ඒ ලක්ෂ දෙකේ කතාවෙන් ඔබට වරදක් වුණේ නෑ කියන එකද?

ඔව්. ඒ ලක්ෂ දෙකේ රැල්ලෙන් මට වරදක් වුණේ නෑ. ඒකෙන් මගේ ජනප්‍රිය බව තිබුණට වඩා ඉහළ ගියා. මාව නොදන්ත අය පවා මේ සිදු වීමෙන් පස්සේ මාව දැනගත්තා.



ඒ රැල්ල හදපු අයට අංජලී අද මොකද කියන්නේ?

කිසිම දෙයක් කියන්නේ නෑ. අංජලී කවුද කියලා දන්න අය දන්නවා. ඒ අය තමයි මේ සිදු වීමේදී මං එක්ක හිටියේ.

ඉතින් ඒ අයට මමත් හරි ආදරෙයි කියන්න ඕනේ.
අංජලීගේ කල්පනාව දිගටම ඔය පෙනුමෙන්ම ඉන්නද?

ඔව් මං මේ පෙනුමට ආසයි. අනික මාව ගොඩාක් අය දන්නෙත් කොණ්ඩේ කපපු මේ පෙනුම හින්දනේ. ඉතින් ඒක වෙනස් කරන්නේ නෑ. මටත් මෙහෙම ලේසියි.

දැන් ඔබ රටේ ජනප්‍රිය තරුවක්, ඒ ජනප්‍රිය බව කරදරයක් නෙවෙයිද?

(සිනාසෙමින්) එහෙම නෑ. මං ආසයි මාව දැකලා මගේ එක්ක කතාබහ කරලා මං එක්ක ෆොටෝ එකක් එහෙම ගහගෙන යන අයට. මොකද කොයි  තරම් හැකියාව තිබුණත් මාව තරුවක් කළේ මේ ලංකාවේ මිනිස්සු. ඒක අමතක කරන්න හොඳ නෑ.

රඟපාන්න එහෙම ආසාවක් නැද්ද?

(සිනා සෙමින් ) එක සැරයක්
ආරාධනාවක් ආවා. ඒත් ඒ ගැන එච්චර හිතුවේ නෑ.

දැන් කලවයසත් හරිනේ, අංජලීගේ හිත ගිය කෙනෙක් එහෙම තාම නැද්ද?

දැනට නම් නෑ. ඒ ගැන තාම හිතන්නෙත් නෑ. තව අවුරුදු හතර පහකින් වගේ ඒක ගැන බලමු. දැනට නම් පෙම්වතෙක් නෑ

දිල්කි අප්සරා