akmeemana-house-13-crore

දේපළ උපයා ගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වූ අක්මීමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් දේපළ පොලිසිය මගින් තහනමට ලක් කර තිබේ.
ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්ලක් ද අක්මීමණ අංකොක්කාවල පිහිටි අක්කර එකයි පරිචස් අටක තේ සහ කෝපි ඉඩමක් ද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගාල්ල පොලිසිය විසින් පෙරේදා (08) සවස තහනම් කරනු ලැබීය. 

ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මෙම දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර එහිදී එම දේපළවල හිමිකාරිය වන අක්මීමණ අරුණෝදයගම පදිංචි 35 හැවිරිදි කාන්තාව එම දේපළ මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හෝ මුදල් ලැබුණ ආකාරය හෝ පිළිබඳව අනාවරණය කිරීමට අපොහොසත්ව ඇත.



පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ, පොලිස් අධිකාරි සනත් අමරසිංහ, මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර යන මහත්වරු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම දේපළ තහනම් කළහ.මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දිස්ත්‍රික්කය පුරා විමර්ශන පවත්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

 ඩී.ඊ. සුගතපාල