400-4-usa-sri-lanka

 ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සිය තීරණය වෙනස් කරමින් බහාමාස්හි පැවැත්වෙන ලෝක සහාය දිවිමේ තරගාවලියට නම් කර සිටි ශ්‍රී ලංකා මීටර්  400x4 (පිරිමි) කණ්ඩායමට ඇමරිකාව හරහා ගමන් කිරිම සදහා වීසා නිකුත් කිරීමට ඊයේ (2) කැඳවීම් කළ බව වාර්තාවේ.  කෙසේවුවත් ඊයේ උදෑසන ශ්‍රී ලංකා සහාය  දිවීමේ කණ්ඩායම කොළඹ ඇමරිකානු තානාපති කාරියාලයේ පෙනී සිටින අතර, හදිසියේ එහි එක් ක්‍රීඩකයකු තමන්ට අසනීප බව කියමින් තරග සංචාරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇත.

මෙම තත්ත්වය තුළ නැවත තරග සංචාරයට ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම සහභාගි කිරිමට දැරූ උත්සාහය අත් හැර දැමීමට සිදුවූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසීය.

බහාමාස් හිදී සෙනසුරාදා හා ඉරිදා (4 - 5) පැවැත්වෙන ලෝක සහාය දිවීමේ තරගාවලියට ක්‍රීඩකයන් ක්‍රීඩකයන් පස් දෙනකු හා පුහුණුකරුවකුගෙන් සමන්විත ලංකා කණ්ඩායමක් සහභාගි කිරිමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කළේය. එහෙත් පෙරේදා (1) වාර්තා වූයේ බහාමාස් දක්වා ගමන් ගැනීමේදී ඇමරිකාව හරහා යාමට ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට විසා නිකුත් කිරීම කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළ බවයි.

මෙම තත්වය තුළ විකල්ප ක්‍රියා මාර්ගයකටද කාලයක් නොවන බැවින් බහාමාස් තරග සංචාරය අත් හැර දමන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ප්‍රකාශ කළේ පෙරේදාය. එහෙත් එම තත්ත්වය දැන ගැනීමෙන් පසුව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රධානීන් ඇමතීමෙන් පසුව ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා වීසා නිකුත් කිරීම සදහා ඊයේ උදෑසන තානාපති කාර්යාලයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.



ඊට සහභාගි වෙමින් සිටින අතර තානාපති කාර්යාලයේදී ක්‍රීඩක කාලිංග කුමාරගේ හදිසියේ පවසා ඇත්තේ තමන් අසනීප තත්ත්වයකින් පෙළෙන බවයි. තමන් සංචාරයෙන් ඉවත් වන බවය.උද්ගතවූ තත්වය පිළිබඳව අදහස් දැක්වූ මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා මෙය පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමට යන ලෝක තරගාවලියක් වන බැවින් විකල්ප ක්‍රීඩකයකු ආදේශ කිරීමට ගන්නා උත්සාහය සාර්ථක නොවන බව පැවසීය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ මෙම සිදුවීමෙන් පසුව අසනීපව සිටින බව කියන කාලිංග කුමාරගේ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කළ බවයි.
නාමල් පතිරගේ