wimal-passport-case

 ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අයථා විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ.



මෙම නඩුව අද (අප්‍රේල් 01) විභාගයට ගත් අවස්ථාවේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.



පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා 2015 වසරේ අක්‍රිය විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් විදේශගත වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.

වීරවංශ මන්ත්‍රීවරයා විදේශ ගතවීම සඳහා වීසා ඇතුළත් කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රයක් ලබාදී ඇති නමුත් එම විදේශ ගමන් බලපත්‍රයේ තත්ත්වය පිළිබඳව ගුවන්තොටුපළට දැනුම් දී ඇති බව වාර්තා වේ.



පසුව ඔහු අලුත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන නැවත විදේශගත වීමට උත්සාහ කර ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයා කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන ප්‍රථම වරට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් අපොහොසත් වූ බවත් ඒ වෙනුවට අලුත් ගමන් බලපත්‍රයක් රැගෙන පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවත් වීරවංශ මන්ත්‍රීවරයාගේ නීතීඥවරයා අධිකරණයට දන්වා තිබුණි.

පැරණි ගමන් බලපත්‍රයක වලංගු වීසා බලපත්‍රයක් අලුත් කරන ලද ගමන් බලපත්‍රයක් සමඟ ගමන් කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දන්වා ඇති බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම කරුණු සැලකිල්ලට ගත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කළේය.