wife-woman-stress

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ සිසුවියක්, ඇගේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා. ඒ කොළඹ තුරඟ තරඟ පිටිය අසළදී. මීට මාස දෙකකට පමණ ඉහතදී ඇය විසින් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය නතර කිරීමට තීරණය කළ නිසා එසේ කළ බවයි සැකකාර පෙම්වතා පොලිසියට කියලා තිබුණේ. කොහොම නමුත් වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබුණේ මීට පෙර ප්‍රේම සම්බන්ධතාවයන් බිඳීයාම නිසාත් ඔහු හෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමට පවා උත්සාහ දරා ඇති බව. එමෙන්ම මේ තරුණයා දැඩි මානසික ආතතියකින් පෙළුණු අයෙක් බවටත්, ඔහු මීට පෙර ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවටත් පොලිස් පරීක්ෂණවලදී තහහුරු වෙලා තියෙනවා.
පුද්ගලයෙකු කොයිතරම් හොද උසස් අධ්‍යාපනයක් ලැබුවත් මෙවැනි සිදු වී වලින් මිනිසුන්ගේ මානසික මට්ටම, පෞරුෂ වර්ධනය ගැන මතුවෙන්නේ විශාල ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා මෙවැනි දේවල් සිදුවීමට බලපාන හේතු සහ ඒවාට පිළියම් මොනවාද කියන එක ගැන අපි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් මහතාගෙන් විමසීමක් කළා.



ඔය  වගේම තවත් සිද්ධියකින් මම කතාව පටන්ගන්නමි.මේ ළඟදි අවුරුදු 38ක විතර පුද්ගලයෙක් ඔහුගේ බිරිඳත් එක්ක මගේ සායනයට ආවා. මේ පුද්ගලයා වෘත්තියෙන් ගණකාධිකාරවරයෙක්. ඔහුටත් තිබුණේ අර විශ්වවිද්‍යාල සිසුවිය ඝාතනය කරපු සැකකාර තරුණයාට තිබුණු ප්‍රග්නෙමයි. ඒ තමයි කොයිවෙලෙත් ඔහුගේ බිරිඳ වෙනත් පුරුෂයෙකුට ළංවෙයිද කියලා හිතේ බයෙන් ජීවත්වෙන එක. බිරිඳව වෙනත් පුරුෂයෙක් අල්ලයිද, සිපගනීද, ඇය ඔහුට හොරෙන් වෙනත් පිරිමින් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වයිද කියන බයෙන් තමයි ඔහු හැම තත්පරේම ජීවත්වෙලා තිබුණේ. ඒ නිසා ඔහු ගොඩක් වෙලාවට බිරිඳ එක්ක වෙනස් ලිංගික ඉරියව්වලින් ලිංගිකව හැසිරෙන්න පවා උත්සාහ කරලා තිබුණා. හේතුව තමයි ඔහුට බයක් තිබුණා ඔහුගෙන් තෘප්තියක් නොලැබුණොත් බිරිඳ ඒ දේවල් වෙනත්  පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙයි කියලා.
පස්සේ මම මේ ගැන ඔහුගේ බිරිඳගෙනුත් විස්තර ටිකක් අහලා බැලුවා. එතකොට ඇය කීවේ මේ වෙනකොටත් ස්වාමිපුරුෂයාගේ ඒ අසාමාන්‍ය හැසිරීම් නිසා ඔහුටත් වඩා ඇය මානසිකව පීඩා විඳිනවා කියලා. ඇය කියපු විදියට ඔහු ඇයට තමන්ගෙ එක කුස උපන් සහෝදරයා එක්කවත් තනියම ගමනක් බිමනක් යන්න දීලා නැහැ. ඒ වගේම ඇයට පිරිමි යහළුවෙක්, ඥාති සහෝදරයෙක් ඇසුරු කරන්න දීලා නෑ වගේම, ඔවුන් සමඟ දුරකතන සංවාදවල යෙදීම පවා තහනම් කරලා තිබුණා. ඒ වගේම පිටස්තර පිරිමින් ඇගේ වදින එකට ඔහු අකමැතියි කියලා මොනයම්ම හදිසි අවස්ථාවකටවත් ඇයට බස් රථයක ගමනක් බිමනක් යන්න දීලත් නැහැ.

ඒ විතරක් නෙවෙයි ඇය රහසින්වත් එහෙම කරපු වගක් ඔහුට දැනගන්න ලැබුණොත් එදාට හරි කෘර විදියට ගහලා බැනලා ශාරීරිකව වද දෙනවලු.සරලවම කියනවා නම් ඔහු නැතිව ඇයට තනියම යන්න අවසර ලැබිලා තියෙන්නේ වැසිකිළියට විතරයි. ඒ ගියත් වෙනදට වඩා විනාඩි 5ක් 10ක් ප්‍රමාද වුණොත් ඔයතරම් වෙලා ඕකෙ පැලපදියම් වෙලා මොනවද කරන්නෙ කියලා දොරට ගහනවලු.”
මෙය මනෝ රෝග ගණයට වැටෙන ලිංගික ඊර්ෂ්‍යාව නමැති මානසික රෝගය බවයි වෛද්‍යවරයා අපට කීවේ.
"මේ රෝගයෙන් පෙළෙන පුද්ගලයින් හැම දෙයක් දිහාම නිතරම වගේ බලන්නේ අධික සැකයකින්. ඒ වගේම එහෙම අයට කොයිතරම් ඇත්ත කිව්වත් වැඩක් වෙන්නෙ නෑ. මොකද එයාලා ඒ කතාවට එයාලගෙ මනසින් මවාගත්තු විකාරරූපී අදහස් එකතු කරගෙන අලුත්ම පිටපතක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට මේ අය මේ තත්වෙට පත්වෙන්න ලොකුම හේතුව වෙලා තියෙන්නේ ඔවුන් පිළිබඳව ඔවුන්ට ආත්ම විශ්වාසයක් නොමැතිකම සහ කුඩා කාලයේදී නිසි පෞරුෂ වර්ධනයක් නොලැබී යාම. සමහර වෙලාවට දෙමව්පියන් වැඩිහිටින්ගේ ජානමය හේතු කාරණා බලපාලත් මේ තත්ත්වයට පත්වුණ පුද්ගලයින් ඉන්නවා.
ඒ වගේම මේ රෝගී තත්ත්වයට ගොදුරු වුණ ඇතැම් පුද්ගලයින් අසීමිතව ආදරයක් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ ලිංගික ඊර්ෂ්‍යාව කියන මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ව බාහිර ස්වරූපයෙන් අඳුනගන්න හරිම අමාරුයි.” ඒ නිසාම ප්‍රේම සම්බන්ධතාවයක් පටන්ගැනීමට පෙර හෝ විවාහවීමට තීරණය කිරීමට පෙර තමන්ගේ සහකරුවා හෝ සහකාරියගේ හැසිරීමේ මෙවැනි ලක්ෂණ තිබේදැයි විමසිලිමත් වෙන්න කියලයි වෛද්‍යවරයා කියාසිටියේ. “කාන්තා පාර්ශවයටත් වඩා පිරිමි පාර්ශවයෙන් තමයි මේ තත්ත්වය වැඩිපුරම දකින්න ලැබෙන්නේ කිසියම් පිරිමියෙක් නිතරම වගේ තමන්ගේ බිරිඳගේ හෝ පෙම්වතියගේ ජංගම දුරකතනය පරීක්ෂාවට ලක් කරනවානම්, ගමනක් බිමනක් ගියත් රැකියාවකට ගියත් නිරන්තරයෙන්ම වීඩියෝ කෝල්වලින් ඔබ සිටින ස්ථානය, ඔබේ අසල සිටින අයව, කරන කියන දේවල් පිළිබඳව තහවුරු කරගන්න උත්සාහ දරනවානම්,

පිරිමි ඇසුර තහනම් කරනවානම්, පුංචි දෙයක් දිහා පවා සැකෙන් බලනවානම්, තනිවම ගමන් බිමන් යාම තහනම් කරලා තියෙනවානම් විශේෂයෙන්ම අසාමාන්‍ය විදියට ලිංගික ඇසුරක් බලාපොරොත්තු වෙනවානම් ගොඩක් වෙලාවට ඒ අයට ලිංගික ඊර්ෂ්‍යාව කියන මේ මානසික රෝගය තියෙන්න පුළුවන්.
නමුත් ගොඩක් වෙලාවට එහෙම අය කියන්න උත්සාහ කරන්නේ ඔවුන් තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට තියෙන ආදරය නිසා ඔහුව හෝ ඇයව ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා කියලා. ඒ වගේම ඒ අයගෙන් අනිත් කෙනාට හිරිහැරයක් වුණ වහාම කියන්න උත්සාහ කරන්නේ ආදරේ වෛරයකට පෙරළුණා කියන එක. ඇත්තටම ඔය ආදරයයි වෛරයයි අතර තියෙන දුර කෙස්ගහකට සමානයි කියන එකත් මට අනුව නම් පට්ටපල් බොරුවක්. මොකද ඇත්තටම ආදරේ කෙනෙකුට කවදාවත් තමන් ආදරේ කරන කෙනාගේ ඇඟේ ලේ හොල්ලන්න, ගහන්න, බනින්න, සැක කරන්න, හුස්ම ටික උදුරගන්න බෑ. ඒ විතරක් නෙවෙයි මානසිකව වද දීලා ඔහුගේ හෝ ඇයගේ මග අහුරලා ඉතාමත් ආත්මාර්ථකාමී සතුටක් ලබන්නත් බෑ.'
නමුත් මෙවැනි මානසික රෝගවලට ගොදුරුවුණු තමන්ගේම ආදරණීයයන් සිටීනම් ඔවුන්ව තනිකර දැමීම, කොන්කිරීම, අතහැර යෑමට වඩා යෝග්‍ය වන්නේ නියමාකාර වෛද්‍ය උපදේශනවලට යොමු කිරීම බවයි වෛද්‍යවරයා තවදුරටත් කියාසිටියේ.
“ඇත්තම කියනවානම් මේ වගේ රෝග තියෙන අය බයයි අනිත් අය තමන්ගේ සැබෑ තත්ත්වය ගැන දැනගන්නවට. ඒ නිසාම ඔවුන් කරන්නේ ඇත්ත තත්ත්වය කියලා නිසි ප්‍රතිකාරයක් ගන්නෙ නැතුව හැංගෙන්න උත්සාහ කරන එක. අනිත් අතට මානසික රෝගියෙක් වුණත් මේ අය අතින් තව කෙනෙකුට ජීවිත හානියක් සිදුවුණොත් ඒක බරපතළ ගණයේ අපරාධයක්. ගොඩක් වෙලාවට නීතියෙන් ගැලවීමක් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්.
ඒ නිසා මෙවැනි රෝගියෙක් ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් සියල්ලන්ගේම යහපත වෙනුවෙන් නීති මාර්ගයට ගොස් හෝ ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ
විශේෂඥ මනෝ වෛද්‍ය
රූමී රූබන්
සටහන - ලිහිණි මධුෂිකා