vijey-tamil-actor-farewell

දමිළ සිනමාවේ සුපිරි නළු විජේ, සිනමාවෙන් සමු ගන්න යනවාද? මෙය මේ දවස්වල ඔහුගේ රසික රසිකාවියන් කාහේත් කුතුහලයට පාත්‍ර වී ඇති කාරණයක්. ඔහු පූර්ණකාලීනව දේශපාලහයට එක්ව ජනතාවට සේවය කිරීම සඳහා රංගනයෙන් ඉවත් වීමට යන බවයි පෙනෙන්නේ.

මෙයට ටික දිනකට පෙර විජේ, දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක් වන තමිල්නාඩුවේ අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තා. මේ පක්ෂය ඔහු නම් කර තිබුණේ තමිෂාග වේට්රි කෂාගම්’ යන නමින්. මෙම නමේ තේරුම තමිල්නාඩු ජයග්‍රහණයේ පක්‍ෂය බවත් සඳහන්. මෙම පක්‍ෂය පිහිටුවීමෙන් පසු සිය සමාජ මාධ්‍ය පිටු හරහා ප්‍රකාශයක් කරමින් විජේ පවසා තිබුණේ, දැනට භාරගෙන ඇති චිත්‍රපටයේ කටයුතු අවසන් වීමෙන් පසු පූර්ණ කාලීනව ජනතා සේවයට කැප වන බවයි.

"මම හිතන විදියට දේශපාලනය කියන්නේ විනෝදාංශයක් වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය මගේ උතුම්ම වෑයමයි. ඒ නිසා දැනට මා භාර ගෙන ඇති චිත්‍රපටය අවසන් කිරීමෙන් පසු තමිල්නාඩු ජනතාවට සේවය කිරීමේ මෙහෙවරට පූර්ණ කාලීනව කැප වෙනවා.

එහිදී වෙන කිසිවකින් මගේ අවධානය බිඳෙන්න දෙන්නේ නැහැ. මා සිතන්නේ එය තමයි මා තමිල්නාඩු ජනතාවට කරන කෘතගුණ දැක්වීම" විජේ පවසා තිබුණා. ඔහු මේ බව සඳහන් කර තිබුණේ සිය X (කලින් ට්විටර්) පිටුවේ ලියූ සටහනකයි.

"මගේ මවුපියන්ගෙන් පසු මට හැම දෙයක්ම ලබා දුන්නේ තමිල්නාඩු ජනතාවයි. මට මේ ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, සියල්ල ලබා දුන්නේ ඔවුනුයි. ඒ නිසා මේ ජනතාවට උදව් කිරීම මගේ දීර්ඝ කාලීන අරමුණ සහ ආශාවයි" යනුවෙන් ද ඔහු එහි ලියා තිබුණා.

මේ දිනවල විජේ The Greatest of All Time නමැති සිනමාපටයක රූපගත කිරීම්වලට සහභාගි වෙමින් සිටිනවා. ඔහු පවසන්නේ මෙය ඔහුගේ අවසන් චිත්‍රපටය බවද? ඔහුගේ සුවහසක් රසිකයන් මේ ගැන කුතුහලයෙන් පසුවෙනවාට සැකයක් නැහැ.

The Greatest of All Time චිත්‍රපටය, විජේ ප්‍රධාන චරිතයක් රඟපාන 69 වැනි සිනමා පටය බවයි පැවසෙන්නේ. මෙහි විජේ එක චරිතයක් නොව චරිත දෙකක්ම (ද්විත්ව චරිත) රගපාන බවත් සඳහන් මෙම සිනමාපටය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් චිත්‍රපටයක් බවත්, කාලය හරහා ගමන් කිරීම (Time Travel) පිළිබඳ කතාවක් මෙයට පසුබිම් වන බවත් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණා.



කෙසේ හෝ වේවා, පූර්ණකාලීනව දේශපාලනයට පිවිස ක්‍රම වෙනසක් (හෙවත් සිස්ටම් චේන්ජ් එකක්) කිරීම සඳහා දායක වීම විජේ ගේ බලාපොරොත්තුව බවයි පෙනෙන්නේ. එහිදී ඔහු මුලින්ම තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රාන්ත සභා මැතිවරණයට තරග කිරීමට අදහස් කරන බව පෙනෙනවා. මෙය ලංකාවේ පළාත් සභා මැතිවරණය වගේ එකක්. තමිල්නාඩුවේ මීළඟ ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2026 වසරේයි.

මේ අතර ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණයකුත් මේ අවුරුද්දේ පැවැත්වීමට නියමිතයි. නමුත් විජේ ගේ පක්ෂය එයට තරග නොකරන බව පැවසෙනවා. දමිළ සිනමාවේ තවත් සුපිරි නළුවකු වන කමල් හසන් නම් මෙම මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු පැමිණීමට සූදානම් වන බව සඳහන්. දේශපාලනය තුළ තමාගේ අරමුණ පැහැදිලි කරමින් විජේ කර තිබූ ප්‍රකාශයකටත් පසුගිය දිනවල මාධ්‍ය තුළ ලොකු ප්‍රසිද්ධියක් ලැබී තිබුණා. ඒ ප්‍රකාශය මෙහෙමයි.

"තමිල්නාඩුවේ පවතින දේශපාලන තත්ත්වය ගැන අපි කවුරුත් හොඳින් දන්නවා. එක පැත්තකින් ඉතාම දූෂිත, අකර්මණ්‍ය වෙච්චි දේශපාලන සංස්කෘතියක් තිබෙනවා. අනෙක් පැත්තෙන් මිනිසුන් විවිධාකාරයෙන් තිබෙනවා. ආගම් වශයෙන්, කුල බෙදා වෙන් කරන දේශපාලනයක් තිබෙනවා.ආගම් වශයෙන් කුල වශයෙන් මිනිසුන් බෙදා වෙන් කර තිබෙනවා. මේ දෙකෙන්ම කරන්නේ අපේ දියුණුව, සංවර්ධනය අඩාල කිරීමයි. මේ ජරාජීර්ණ දේශපාලනය අවසන් කිරීමේ මහා වුවමනාවකින් තමිල්නාඩුවේ ජනතාව පෙළෙමින් සිටින බව අද ප්‍රතික්‍ෂේප කළ නොහැකි සත්‍යයක්.



මෙම වෙනස කිරීමට සමත් අවංක, ජනතාවාදී, දක්‍ෂ දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව ඔවුන්ට තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් තමිල්නාඩුවේ ජනතාවට, ප්‍රජාවට හැකි උපරිමයෙන් සේවය කිරීම මගේ දීර්ඝ කාලීන අරමුණ සහ ආශාවයි” විජේ සඳහන් කර තිබුණා.

සිනමාව තුළ අතිශයින් සාර්ථක ගමනක් පැමිණි විජේ ගේ දේශපාලන ගමන කෙබඳු වේවි ද යන්න ඔහුට ආදරය කරන ජනතාව මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටින්නක් වනු ඇති.ජනප්‍රිය නළු රජිනිකාන්ත් ඇතුළු සිනමාවේ කිහිප දෙනෙකු ද පසුගිය දිනවල විජේට සුබ පතා තිබෙනු දකින්නට ලැබුණා.

නවසිය අසූව දශකයේ ළමා නළුවකු ලෙස සිනමාවට පැමිණි ඔහු ගෙවී ගිය දශක කිහිපය තුළ එහි අති සාර්ථක ගමනක් එන්නට සමත් වුණා. විජේ විවාහ වී සිටින්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක වන සංගීතා සෝර්නලිංගම් සමගයි. ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනකු සිටිනවා.

ප්‍රීති සෙනෙවිරත්න