moragahahena-incident

ද්විත්ව ඝාතනයක් සදහා යොදාගත් බව කියන මෝටර් රථයක වර්ණය වෙනස් කළ සංවිධානාත්මක අපරාධකරුවකු වන හෝමාගම හදයා නමැත්තාගේ සමීපතමයකු වන බියගම සියඹලාපේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. සාමවිනිසුරුවරයකු ලෙස කටයුතු කරන සැකකරු ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලැබූවකු බව ද පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් එම සැකකරු වාහන විකිණීම, හුවමාරු කිරිම සහ පින්තාරු කිරීම ඇතුළු ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කළේය.

මොරගහහේන තල්ගහවිල ප්‍රදේශයේ ඉකුත් 7 වැනිදා සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා ඇතුළු

නිලධාරීන් මෝටර් රථය ගමන් ගත් මග දෙපස කිලෝමීටර් 50ක පමණ දුරක් සීසීටීවී දර්ශන 150කට අධික ප්‍රමාණයක් පරික්ෂා කිරිමේදී මෝටර් රථය සැකකරුට අයත් වාහන අලෙවිසලට ඇතුළු වන අයුරු හා පසු දින එවැනිම වාහනයක් වර්ණ වෙනස් කර පිටත්ව යන අයුරු ඒ ආසන්නයේ සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය පැවැසීය.  ඒ අනුව, ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන් ආවේක්ෂණ රාජකාරී සඳහා යොදවා සිදු කළ විමර්ශනවලදී කටුපොත අත්දැක්ටරයක ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස සවි කරගෙන ද්විත්ව ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය එම ගරාජයට ඇතුළු වී තිබෙන බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව එම ස්ථානය වටලා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිමේදී සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හෝමාගම හඳයා නමැතැත්තාගේ සමීපතමයකු වන, මේ වන විට බන්ධනාගාරගතව සිටින සංජය නමැත්තකු සැකකරුට ඇමතුමක් ලබා දී, සියඹලාපේ මාර්ග සංඥා පුවරුව අසල ඇවිදින මංතීරුවට යාබදව නවතා තිබෙන සිල්වර් පැහැති මෝටර් රථය රැගෙනවිත් සුදු පැහැති වර්ණය ගන්වා වෙනත් අංක තහඩු දෙකක් සවිකර දෙන ලෙසට ලබා දුන් උපදෙස් අනුව තමන් එය සිදු කර දීමට රුපියල් 140,000ක් ඉල්ලූ බවත්,

අනතුරුව මෝටර් රථය රැගෙන ආ බවත්, මෝටර් රථය පින්තාරු කිරීමෙන් අනතුරුව පසු දින දහවල් කාලයේදී වෙනත් අංක තහඩුවක් සවිකර, තිබූ අංක තහඩුව මෝටර් රථය තුළට දමා නැවතත් එම ස්ථානයටම සිය පියා සමග ගොස් මෝටර් රථය නවතා ආ බවත්, සිදු කළ ප්‍රශ්න කිරීමේදී පැවැසුවේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. වර්ණය වෙනස් කිරීමෙන් අනතුරුව මෝටර් රථයට සවිකර ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක ලියාපදිංචි අංකයක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ වෙනුවෙන් තමන්ට හෝමාගම හඳයා නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට රුපියල් ලක්ෂයක මුදල් බැංකුගත කර තිබූ බවත්, ඉතිරි රුපියල් 40,000 කඩුවෙල ප්‍රදේශයේ බැංකුවකින් තමන්ගේ ගිණුමට බැර වී තිබූ බවත්, සැකකරු ප්‍රකාශ කර ඇත.සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිමේදී, මේ ආකාරයෙන් වරින් වර විදේශගතව සිටින හඳයා නමැත්තාගේ සහ බන්ධානාගාරගතව සිටින සංජය නමැත්තාගේ උපදෙස් මත ඔවුන්ගේ ගෝල බාලයන් පොලිසියට හසු වීමෙන් අනතුරුව නීතිඥවරුන් සම්බන්ධ කර දීම ඇතුළු විවිධ උදව් උපකාර තමන් විසින් සිදු කර ඇති බවත්,

ඒ වෙනුවෙන් සැකකරුට මුදල් ලබා දී ඇති බවත්, සැකකරු වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිසිය කීය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හඳයාගේ සමීපතම ගෝලයකු වන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සංජය නමැත්තාගේ ජංගම දුරකතන හතරක් පරිහරණය කරන බවට සැකකරුගෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.අත්අඩංගුවට ගත්  සැකකරු සපුගස්කන්ද හෙයියන්තුඩුව කොට්ටුන්න පාර පදිංචි, 35 හැවිරිදි තැනැත්තෙකි. සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන කරනු ලැබීය.