ulapane-thera-released-on-bail

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි , හිටපු නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (26)නියෝග කළේය.



නාරාහේන්පිට දාබරේ මාවතේ අනවසර පැල්පත් නිවාස හතකට නිකුත් කළ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේ දී ඊට විරෝධය පළකර බාධා කළේ යැයි චෝදනා ලබා නීතිඥවරුන් මාර්ගයෙන් පසුගලිය 22 දා අධිකරණය ඉදිරියේ පෙනී සිටි උලපනේ සුමංගල හිමි, කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සුනන්ද ලියනපතිරණ, ඔහුගේ බිරිඳ වන හිටපු නාගරික මන්ත්‍රිනී දේවිකා මාතරආරච්චි හා සමීර චතුරංග නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අද ඇප ලැබගත්හ.

අදාළ නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ විදුහල්පතිවරුන්, මහජන නියෝජිතයන් වැනි වගකිවයුතු අය පවා අධිකරණ නියෝගවලට බාධා කරමින් අධිකරණය මගහැර සිටීම අනුමත කළ නොහැකි බවය. අදාළ නිවාසවලින් ඉවත් වන ලෙසට පසුගිය වසරේ (2023) ඔක්තෝබර් මස 14 වැනි දින අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර ඇති අතර එම 

නියෝගය ක්‍රියාත්මක කිරීමට ගිය   අධිකරණ රෙජිස්ටාර් වරයාට පිස්කල් නිලධාරීන්ට බාධා කිරීමේ චෝදනා යටතේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ප්‍රතිශෝධනය කර ගැනීමට හෝ එය නෛතික වශයෙන් ඉවත් කර ගැනීමට ක්‍රියාමාර්ග නොගෙන අධ්‍යාපන ඇමැතිවරයා නිකුත් කළ ලියුමක් පෙන්වා සැකකරුවන් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බව කියැවිණි.


අධිකරණ නියෝග වළක්වා ගැනීමට ලිපි පෙන්වීමෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවට බාධාවක් එල්ල වන බව  22 දා පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා විදුහල්පතිවරයකු වන සැකකාර හිමිනම හා නීතිය ආරක්ෂා කිරීමට සිටින මහජන නියෝජිතයන් එසේ සිදු කිරීම අනුමත කළ නොහැකි බවද කීය.සුමංගල හිමියන්ට ලබන විසි හත්වැනි දින විභාගයකට මුහුණ දීමට ඉඩ ඇති බවට නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර අද ඇප ලබා ඇත.