ජනප්‍රියම නිළිය, හොඳම නිළිය වැනි සම්මානවලින් කිසිදා අඩුවක් නොවුණු නිළියක් තමයි උදාරි වර්ණකුලසූරිය. ඇය අවසන් වරට රංගනයෙන් දායක වුණේ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කරපු ‘ආසු’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදිහට. ඒ රංගනය හරිම සුවිශේෂි එකක් නිසා ඒක ගැන තවමත් ප්‍රේක්ෂකයන් කතා කරනවා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත් විස්තර මොනවද බලන්න මෙවර අපි උදාරි වර්ණකුලසූරියත් එක්ක ටිකක් කතා කරන්න හිතුවා.



ඉතින් ‘සංසලා’ ඔයාට කොහොමද?
(සිනාසෙමින්) ඔයාලටත් තාම සංසලාව මතකයි නේද? කෙටියෙන්ම කිව්වොත් සංසලා හොඳින් සතුටින් ඉන්නවා.

‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ සංසලා මතක නැත්තේ කාටද?
ඇත්තටම 'සංසලා' හරහා තමයි උදාරි කියන නිළියව හැමෝම දැනගත්තේ. ඒ ටෙලිනාට්‍යය මගේ රංගන ජීවිතේ එක හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරියටම හරි.කතාව ඉවර වෙලා අවුරුදු ගාණක් ගත වුණත් අදටත් ප්‍රේක්ෂකයෝ හුඟාක් දෙනා මට කතා කරන්නේ 'සංසලා ' කියලා.



හැබැයි දැන් ආසු චිත්‍රපටයේ ඔබ කළ චරිතය ගැනත් කතා කරනවා?

ඒක ඇත්ත. මං මීට කලින් කවදාවත්ම පියයුරු පිළිකාවක් හැදුනු කෙනෙක්ගේ චරිතයක් කරලා තිබුණේ නෑ. ඒකයි ඒ 'ආසු' චිත්‍රපටයේ තිබුණු සංවේදීකම නිසයි හැමෝම ඒ ගැන වැඩියෙන් කතා කළේ. චිත්‍රපටය බලපු හැමෝම මගේ චරිතයට සංවේදී වෙලා තිබුණා.

ඒ චිත්‍රපටය ඔබටත් විශේෂ එකක් වෙන්න ඇති?

ඒක ඇත්ත. තම ජීවිතයට වඩා නූපන් දරුවාගේ ජීවිතය ගැන හිතපු පියයුරු පිළිකාව සමඟ සටන් වැදුණු පරාර්ථකාමී මාතාවක් වු ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාව ඇසුරෙන් තමයි ඒ චිත්‍රපටය නිර්මාණය වුණේ.

මං රඟපෑවේ ඉන්දිරා චරිතය. ඉන්දිරා ජයසූරිය කියන්නේ අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් වන කරූ ජයසූරිය මහතාගේ දුවක්. ඇය පියයුරු පිළිකාවක් නිසා මියගියානේ. ඒ කාලය තුළ ඇය ගෙවපු ජීවිතය ගැනයි 'ආසු' චිත්‍රපටයේ තිබුණේ.

ඇත්තටම ඇයගේ චරිතය උදාරිට අභියෝග
යත් වුණේ නැද්ද?

ලොකු අභියෝගයක් වුණා. මොකද මං මුලින් කියපු විදිහට පිළිකාවක් හැදුණු කෙනෙක්ගේ චරිතයක් කරලා තිබුණේ නෑ. ඒත් එක්ක ඒ වගේ පිළිකා රෝගීන් මට අධ්‍යයනය කරන්න වුණා. ඒකට මං මහරගම අපේක්ෂා පිළිකා රෝහලට පවා ගියා. ගිහින් ඒ අය එක්ක කතාබහ කළා. කරූ ජයසූරිය මහතාගේ වැඩිමල් දුව වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය මට එතැනදී ලොකු සහායක් වුණා.

චරිතයට අනුගත වුණාට පස්සෙ උදාරිට මේ පියයුරු පිළිකාව කියන එක දැනුණේ කොහොමද?

(සංවේදී වෙමින්) හොඳටම දැනුණා. මං චරිතයට අනුගත වුණාට පස්සෙ හිටියේ, මටත් පියයුරු පිළිකාවක් හැදිලා තියෙන කෙනෙක් වගේ. පියයුරු පිළිකාව නිසා දුක් විඳින ඒ කාන්තාවන් මට මගෙන්ම දැනුණා. මට ඒ තත්ත්වයෙන් මිදිලා ආයෙත් උදාරි වෙන්න චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරලත් දින කීපයක්ම ගියා.



උදරි නිළියක් වුණේ තාත්තාගේ උවමනාවට
කියන්නේ ඇත්තද?

ඔව්. අපේ තාත්තට තමයි උවමනාවක් ආසාවක් තිබුණේ මාව නිළියක් විදිහට දකින්න. නැතුව මට නිළියක් වෙන්න කිසිම උවමනාවක් ආසාවක් තිබුණේ නෑ.

එතකොට දැන් මොකද හිතෙන්නේ?

දැන් නම් ඉතින් සතුටුයි .නිළියක් විදිහට මේ ලැබෙන ආදරේ මට හිතාගන්න බෑ.

උදාරි එන්න එන්නම තරුණ වෙනවා කියලා කවුරුත් කියලා නැද්ද?

(සිනාසෙමින්) අම්මෝ ගොඩාක් අය මට එහෙම කියලා තියෙනවා. අවුරුදු 40කට කිට්ටු වෙලත් මාව එහෙම පේනවා නම් ඒක කොච්චර දෙයක්ද? මාරම සතුටුයි.

ඒ වුණාට ඒකට අපිට නොකියන මොකක්ම හරි රහසක් ඇති?

රහසක් නෑ. මං තරුණ වෙන්න, ලස්සන වෙන්න කියලා විශේෂ දේවල් කරන්නෙ නෑ. හැබැයි ඉතින් මං මාව, මාර ආදරෙන් බලා ගන්නවා.

උදාරි කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණේ ටෙලිනාට්‍ය හරහා වුණත් දැන් සිනමාවත් එක්ක ගනුදෙනු කරනවා වැඩියි නේද?

එහෙම එකක් නෑ. පසුගිය කාලසීමාවේ මං වැඩිපුරම දකින්න ලැබුණේ සිනමාව තුළින්. අනික මං රඟපෑ චිත්‍රපට කීපයක් එක ළඟ තිරගත වුණා. ඒක නිසා තමයි ඔයාලට එහෙම හිතෙන්නේ. ඉදිරියටත් ඒක එහෙම පෙනෙයි. මොකද ඉදිරියේදී ජැක්සන් ඇන්තනී මහතාගේ ‛දේවි සම්බුලා සහ 'එකගෙයි සොකරි' කියන චිත්‍රපට දෙක තිරගත වෙනවා. ජයන්ත චන්ද්‍ර සිරි මහතාගේ දේවි කුසුමාසන' චිත්‍රපටයෙත් දැන් වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ.

උදාරි කියන්නේ සිංහල සිනමාවේ ඊළඟ මාලනී ෆොන්සේකා කියලා දැන් හුඟාක් අය කියනවා. ඒක ගැන උදාරිගේ අදහස මොකක්ද?

ඒක නම් ලොකුම ආඩම්බරයක්. මොකද මාලනී ෆොන්සේකා මහත්මිය කියන්නේ සිංහල සිනමාවේ නිළි රැජින. ඉතින් ඒ වගේ කෙනෙක්ට ප්‍රේක්ෂකයන් මේ මාව සමාන කරනවයි කියලා කියන්නේ ඒක කොච්චර නම් දෙයක්ද? ඇත්තටම ඒක සම්මානයක් ගත්තා වගේ හැඟීමක්.

දිල්කි අප්සරා (Monara)