stf-drug-deal-nabbed

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන දෙදෙනකු සමග සමීප සම්බන්ධතා පවත්වමින් දුරකතන ඇමතුම් අටසිය හතළිහක් ලබාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ බස්නාහිර පළාතේ කඳවුරක කොස්තාපල්වරයෙක් පොලිස් විශේෂ කාරිය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබීය.



මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයෙකි.රිදීගම පොලිස් වසමට අයත් රම්බඩගල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2190 ක ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 4300 ප්‍රමාණයක් සමග මොරකාවැහැර, මොරතිහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැලීම කර පෙරේදා (24) අත්අඩංගුවට ගනු ලැබීය.මොහු සතුව තිබූ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන පරීක්ෂා කර බැලීමේදී එම ජංගම දුරකතනයෙන් ඇමතුම් වාර හතළිහක් පමණ ලබාගෙන තිබූ පුද්ගලයකු ගැන තොරතුරු අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.



එම පුද්ගලයා බස්නාහිර පළාතේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරක මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයකු බවට සැකකරු විසින් තොරතුරු හෙළි කිරීම නිසා එම කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය ජාදාරම්වලට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයද භාරයට ගෙන කරන ලද විමර්ශනවලදී ඔහු කොළඹ සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැලකෙන මධුස් නමැති ආරූඪ නාමයකින් පෙනී සිටින පුද්ගලයකු සමග දුරකතන ඇමතුම් වාර 800 ක් ලබාගෙන ඇති බව හෙළිවිණි යැයි පොලිසිය කියයි.සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුණෑගල, රිදීගම පොලිසියට භාර දී ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය