කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වටිනා රන් මාලයක්, බ්‍රේස්ලට් එකක් සහ රන් මුදුවක් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එම දරුවා රවටා සොරාගෙන ගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සදහන් කරයි.

අනුක්කනේ, කුඹුකොටුව ප්‍රදේශයේ හතළිස් හැවිරිදි මවක සිය පුතාගේ කකුලේ කටුවක් ඇනීමෙන් සිදුව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.

එහිදී වෛද්‍යවරයකු ලෙස පෙනී “සිටි පුද්ගලයකු දරුවා ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ යුතු බව පවසා පැළඳ සිටි රන් ආභරණ ගලවා බෑගයට දමන ලෙස කළ ඉල්ලීමක් අනුව දරුවා ඒවා බෑගයේ දමාගෙන ඇතැයි පොලිසිය කියයි.වෛද්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දරුවා කැඳවාගෙන ගොස් රෝහලේ බංකුවක් මත වාඩි කරවා දරුවා සතුව තිබූ රන් ආභරණ රැගෙන පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය