schools-private

රජයේ අනුමත පෞද්ගලික පාසල් අනූපහෙන් පසුගිය වසරට අදාළ ආදායම් වියදම් වාර්තා මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයට එවා ඇත්තේ පාසල් පහකින් පමණි.

ජනවාරි මස අවසානයට පෙර ආදායම් වියදම් වාර්තා එවීම අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර ඒ බව චක්‍රලේඛයක් මගින් සියලු පාසල්වලට දන්වා තිබේ.

මෙම ආදායම් වියදම් වාර්තාවලට අදාළ චක්‍රලේඛය එම පාසල් උල්ලංඝනය කරන්නේ එම පාසල්වල සැබෑ ආදායම් හෙළිවීම වළක්වා ගැනීමට බව කලාප අධ්‍යාපන කාර්යාල බලධාරීහු පවසති.


මෙතෙක් එම වාර්තා එවා ඇත්තේ කොළඹ හා මහනුවර පාසල් දෙක බැගින් සහ යාපනයේ පාසලක් පමණි.

විද්‍යාලය වෙනුවෙන් පවත්වාගෙන යන බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු, ශිෂ්‍ය ගෙවීම්, ආදි ශිෂ්‍ය, දෙමව්පිය හා බාහිර පෞද්ගලික පරිත්‍යාග, පිහිනුම් තටාක ආදායම්, ක්‍රීඩා තරගවල ප්‍රවේශ පත්‍ර ආදායම්, පාසල් පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලබන වෙළෙඳ ව්‍යාපාර ආදායම් හා පරිශ්‍රයේ ගහකොළවලින් ලැබෙන ආදායම් ද අමාත්‍යාංශයට දැනුම් දිය යුතුය.


අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල, ගොඩනැගිලි හා වෙළෙඳසල් අලුත්වැඩියා සහ නඩත්තු ඇතුළු වියදම්ද අමාත්‍යාංශයට ලබා දිය යුතු වෙයි.

මීට අදාළ චක්‍රලේඛය පසුගිය 2005 වසරේ ඔක්තෝබර් මාසයේ දී නිකුත් කර තිබෙන අතර එම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමට අදාළව සිහි කැඳවීමක් කරමින් පසුගිය 2022 වසරේ මැයි මාසයේ දී නව චක්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.
(නිලන්ත මදුරාවල)