
කුඩා දරුවකු රතිඤ්ඤා කරලක් පත්තු කර අසල්වැසි නිවෙසක මිදුලකට විසි කිරීමෙන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පසුව, කඩුවකින් කොටා කැපුම් තුවාල ලබා ඇති කාන්තාවක් පෙරේදා (14) කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන ප්රදේශයේ පදිංචිව සිටින 49 හැවිරිදි කාන්තාවකි.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන කාන්තාවගේ මිදුලට පෙරේදා (14) පෙරවරුවේ අසල්වැසි නිවෙසක පදිංචිව සිටින පිරිමි දරුවෙක් රතිඤ්ඤා කරලක් දල්වා විසි කර ඇති බව පොලිසිය පැවසීය. පසුව තුවාල ලබා ඇති කාන්තාව රතිඤ්ඤා කරලක් පත්තු කර මිදුලට දැමුවේ කවුරුන් දැයි බැලීමට නිවෙස ඇතුළත සිට මිදුලට පැමිණෙන අවස්ථාවේ දී අල්ලපු නිවෙසේ පිරිමි දරුවා බව දැක ඇති බව පොලිසිය පැවසීය.
පසුව කාන්තාව රතිඤ්ඤා කරල දල්වා මිදුලට විසි කරන ලද පිරිමි දරුවාට කෑගසා ඇති අතර පසුව පිරිමි දරුවාගේ පියා ද පැමිණීමෙන් පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වී ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව පිරිමි දරුවාගේ පියා කඩුවක් රැගෙන පැමිණ අසල්වැසි කාන්තාවගේ බෙල්ලට කොටා ඇති අතර පසුව තුවාලකාරිය රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ. රඹුක්කන රෝහලෙන් වැඩිදුරටත් ප්රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර දැනට තුවාලකාරිය කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබයි. තුවාලකාරියගේ බෙල්ලේ වම්පස කැපුම් තුවාලයකට ප්රතිකාර කැර ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.
චමින්ද ජයලත්
Comments
Post a Comment
Your comment will be visible after approval