rain-season-again

අද (11දා) සිට මේ මස 15 දින දක්වා කාලය තුළදී දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අනාවැකි )මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

මෙම කාලය තුළදී නැගෙනහිර සහ ඌව පළාත්වලට දවසේ ඕනෑම අවස්ථාවක වැසි ඇති විය හැකි බවත්, අනෙකුත් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි බලා පොරොත්තුවන බවත් හෙතෙම පවසා සිටියේය.




අද දිනයෙහිදී නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය  හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද (11දා) දහවල් 12:11 ට බත්තලන්ගුණ්ඩුව, මැදවච්චිය, හොරොව්පතාන සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවද පෙන්වා දෙයි.

 ඉන්දික හේවාවිතාරණ