padme-arrested-dubai

පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මෙ (පාතාලේ පද්මෙ) නමැත්තා සහ ඔහුගේ ගෝලයන් බව කියන තිදෙනකු ඩුබායි රහස් පොලිසිය විසින් පෙරේදා (27) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙහෙල්බද්දර පද්ම නමැත්තාට අමතරව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ගෝලයන් බව කියන දාගොන්නේ අවිස්ක හෙවත් කිරිපුතා, ජම්බු ගස්මුල්ලේ බබී සහ ගීත්මාල් යන තිදෙනාය.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කරනු ලැබ ඇති පාතාල නායකයන් හතළිස් තුන්දෙනාගේ ලයිස්තුවට කෙහෙල්බද්දර පද්ම සහ ජම්බුගස්මුල්ලේ බබී නමැත්තන් ද සිටින බව මේ රට පාතාල මර්දන කටයුතු මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මොවුන් සමග සමීප තවත් ශ්‍රී ලාංකිකයන් දොළොස් දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වා ඔවුන් මුදාහැර ඇතැයි ද

ඩුබායිවලින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත. කෙහෙල්බද්දර පද්මි නමැත්තා එරටේ සිට මෙරට සිටින ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් සිදුකරන පුද්ගලයකු බවට අනාවරණය වී තිබිණි.

පසුගිය වකවානුවේ ගම්පහ සහ ඒ අවට ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන කිහිපයක් ඩුබායි රටේ සැඟව සිට මෙහෙයවා ඇත්තේ ද පද්ම නමැත්තා බවට තොරතුරු හෙළි වී තිබිණැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මීට අමතරව පාතාල නායකයකුව සිටියදී ඉන්දියාවේදී අබිරහස් ලෙස ඝාතනය කෙරුණු අංගොඩ ලොක්කා ගේ ගෝලයකු බව කියන අයෙක් කටුනායක ගුවන්තොටු පොළේ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (28) අලුයම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 645 දරන ගුවන් යානයෙන් ව්‍යාජ

විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි රටට පලා යෑමට පැමිණි අවස්ථාවේ එම ඒකකයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකයට බාර දුන් බව ගුවන් තොටුපොළේ උසස් නිලධාරියෙක් පැවැසීය.මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, දෙල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචි හතළිස් හත් හැවිරිදි අයකු වන අතර ඔහුගෙන් රහස් පොලිසිය වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යයි.