පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වූ ලෙජන්ට් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික කළමනාකාරවරයකුට සහ ඔහුගේ සහායකවරයකුට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නිකුත් කර ඇති තහනම් නියෝගය ඉවත් කරහා ගැනීම සඳහා ශ්‍රී ලාංකික නීතිඥවරයකුද සමග ඉන්දීය ජාතික නීතිඥවරු දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවේ ඊයේ (18දා) පෙනී සිටියහ.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ කෑන්ඩි ’සෑම් ආමි’ කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල්ට සහ 'පංජාබ් රෝයල්’ කණ්ඩායමේ පැවලෝඩියා ආකාශ්ට පසුගිය මාර්තු 14 වැනිදා සිට රටින් පිටව යෑම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් පැනවීය.



ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ලෙප්න්ට් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කරන උපුල් තරංග වරුෂවිතාන සහ නවසීලන්ත ක්‍රිඩක නේල් ට්‍රවෙර් බෲට් විසින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිලිවලට අනුව කළ විමර්ශනවලින් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට ලබන ජුනි මස 13 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට රටින් පිටව යෑම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙන්ට් ක්‍රීඩක උපුල් තරංග වරුෂවිතාන සහ නවසීලන්ත ක්‍රීඩක නේල් ට්‍රවෙර් බෲට් කරන ලද පැමිණිලි අනුව ආරම්භ කළ විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිද්ධියට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමකට අනුව අදාළ තහනම් නියෝගය නිකුත් කර තිබිණි.ඉන්දියාවේ කෑන්ඩි 'සෑම් ආමි’ කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල් නමැත්තාට පනවා ඇති රටින් පිටව යෑමේ තහනම ඉවත් කරවා ගැනීම සදහා අධිකරණයේ ගොනුකර තිබූ විශේෂ මෝසමකට අනුව මෙම නඩුව අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේදී

යෝගී පටෙල්  නමැත්තා අධිකරණයේ පෙනී සිටියේය.

ඒ අවස්ථාවේදී යෝගී පටෙල් නමැත්තා වෙනුවෙන් ඉන්දීය ජාතික නීතිඥවරු දෙදෙනෙකුද සමඟ පෙනී සිටි නීතිඥ යසීස් තෙන්නකෝන් මහතා කරුණු දක්වමින් නීත්‍යනුකූල අන්දමින් මෙරට පැවති ජාත්‍යන්තර තරගාවලියක විධායක කළමනාකරුවකු වූ තම සේවාදායකයාට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයිද සානුකම්පිත කරුණු මත එම විදෙස් ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා මෙම විශේෂ මෝසම ගොනු කළේ යැයිද කීය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වැදිසිංහ මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් මෙම මෝසම් පත්‍රය ඉදිරිපත් කිරීම පිළිබඳව විද්‍යුත් තැපෑල ඔස්සේ අද උදෑසන තමන්ට දැන් ගැනීමට ලැබුණු බවත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වී සඳහා තමන්ට කාලය අවශ්‍ය යැයිද කීය.කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවන නඩුවක් බැවින් නඩුව කැඳවීම සඳහා ආසන්නම දිනය වන ලබන 22 වැනිදා එය කැඳවීමට නියම කළාය.ඒ අවස්ථාවේදී යෝගී පටෙල් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ඉන්දීය නීතිඥවරුන් දෙදෙනා දෑත් එක්කර මහේස්ත්‍රාත්වරියට ආචාර කර අධිකරණ ශාලාවෙන් පිටව ගියහ.
බුද්ධිමාල් රුබේරු