fuel-price-issue

 මිල සූත්‍රය අනුව එක් එක් ඉන්ධන වර්ගය වෙනුවෙන් පවත්වාගත හැකි උපරිම ලාභය 4%ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව මෙම මාසයේ කළ සංශෝධනයේදී පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් වෙනුවෙන් උපරිම ලාභාංශය වන 4% එකතු කර නොමැති බවත් 4%ක උපරිම ලාභය ගණනය වූයේ නම් පෙට්‍රල් 92 හා ඔටෝ ඩීසල් මිල ඉහළ යා යුතුව තිබූ බවත් සංස්ථාව පවසයි. සුපර් ඩීසල් සහ 95 පෙට්‍රල් වෙනුවෙන් උපරිම 4%ක ලාභාංශය ආදේශ කර ඇති බවත් භූමිතෙල් සඳහා 4% හෝ කිසිම ලාභයක් එකතු නොකෙරෙන බවත් සංස්ථාව කියයි.



ඒ අනුව මාර්තු මස 31වන දින සිදුකළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයට අදාළ ඉන්ධන ආනයන සහ බෙදාහැරීමේ වියදම් සාරාංශය එම සංස්ථාව විසින් නිකුත් කර තිබේ. ඔටෝ ඩීසල්, පෙට්‍රල් 92 සහ භූමිතෙල් සඳහා පිරිපහදුවේ සේවා ගාස්තු ඇතුළත් වන අතර, මෙම වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට පිරිපහදුවේ නිෂ්පාදනය වෙනුවෙන් වැටි බදු ඇතුළත් වන බවද සංස්ථාව සඳහන් කරයි.

පිරිපහදුවේ ලාභ හෝ අලාභ පිරිපහදුවේ නිෂ්පාදනය සඳහා ගණනය වී ඇති බවත් සුපිරි ඩීසල් හා පෙට්‍රල් 95 පිරිපහදුව මගින් නිෂ්පාදනය නොවන බවත් සංස්ථාව සඳහන් කරයි.

මාසය පුරා ආනයනය කළ ඉන්ධන වෙනුවෙන් සත්‍ය වශයෙන් ගෙවූ අමෙරිකානු ඩොලර්වලට අදාළව ඇමරිකානු ඩොලරයේ මධ්‍ය අගය අනුව රුපියලේ වටිනාකම ඉන්ධන මිල සූත්‍රයට ඇතුළත් කර ඇති අතර කිසිදු ඉන්ධන වර්ගයක් වෙනුවෙන් ඇති ලාභය හෝ අලාභය, මිල සූත්‍රයට අනුව වෙනත් ඉන්ධන වර්ගයක් වෙනුවෙන් ආදේශ කිරීමක් හෝ පියවා ගැනීමක් සිදු කළ නොහැකි බවත් සංස්ථාව සඳහන් කරයි.
 නවෝද්‍යා පවනී