
ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල වැඩි කෙරෙන ශ්‍රී ලංකා මහා බැංකු සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (1) දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ. මේ හේතුවෙන් එම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණැයිද දැනගන්නට ඇත.
මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (2) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදහස් දක්වා ඇති බොහෝ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇත්තේ මෙවැනි පනතක් හදිසියේ ගෙන ඒමට ඇති අවශ්‍යතාව කුමක්ද යන්නයි.දැනට ඇති බලතල යටතේ නිලධාරීන්ගේ වැටුප් අසීමිත ලෙස වැඩි කරගෙන අන්තනෝමතිකව කටයුතු කරන අවස්ථාවක ශ්‍රී ලංකා මහා බැංකුවට තවත් බලතල දීමෙන් ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.
මේ තත්වය යටතේ මෙම සංශෝධන ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත.මේ අනුව එම සංශෝධන සම්බන්ධයෙන් අද (2) දිනයේ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.එහිදී අදහස් දක්වා ඇති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මදුර විතානගේ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අලුතෙන් පත් කෙරෙන නිලධාරීන් සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා පූර්ව විමර්ශනයක් කළ යුතු බවයි.
වෙනත් මූල්‍ය ආයතනවල කටයුතු කරන නිලධාරීන් ශ්‍රී ලංකා මහා බැංකුවට පත් කිරීමෙන් පසුගිය කාලයේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වූ බවද ඔහු මෙහිදී පෙන්වාදී ඇත.ශ්‍රී ලංකා මහා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට නිලධාරීන් පත් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය බලතල ලබාදීම මෙම නව සංශෝධන මගින් සිදු කෙරේ.ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(1) පෙරවරුවේ පැවැත්විණ.මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ ඇති ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිලධාරීන් පත් කිරීම ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට මූලික කරුණු පැහැදිලි කිරීමක් කර ඇත.
( අංජුල මහික වීරරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval