boralesgamuwa-spa-man-death

බොරලැස්ගමුව  ප්‍රදේශයේ අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි දෙදරු පියකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ, ඇරැව්වල පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයකු බවත් පොලිසිය කියයි.මරණයට පත් පුද්ගලයා යම්කිසි ලිංගික උත්තේජන ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයට පැමිණ ඇති බවට සැක පළ කරන බවත්,

එම ඖෂධ හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට ඇතැයි සැක කරන බවත් පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කිරීමට පැමිණ මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මෘත දේහය යවා අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවක් කැඳවීමට නියමිත බවත් පොලිසිය කීවේය.නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කර ලබා දුන් නියෝග මත මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කළ බවත් පොලිසිය සඳහන් කළේය.



මෙම අනවසර ආයුර්වේද සම්බාහන ආයතනය පවත්වාගෙන යන මුවාවෙන් සිදු කරනු ලබන ගණිකා ව්‍යාපාරික ස්ථානය කිහිප විටක්ම වටලා අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර, දඬුවම් කර ඇති බවත්, එය ද නොතකා දිගින් දිගටම  පවත්වාගෙන ගොස් ඇති බවත් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය කීය.
  බිමල් ශශ්‍යාමන් ජයසිංහ