Norris-Williams-Astonishing-Journey-From-Surviving-The-Titanic

 විසිවන සියවස වන විට බ්‍රිතාන්‍ය නැව් සමාගම් කිහිපයක් අතර තිබූ තරගයක ප්‍රතිඵලයක් ලෙස 'ටයිටැනික් නම් දැවැන්ත නෞකාව නිෂ්පාදනය කළා. මේ තරගය තියුණු ලෙසම තිබුණේ ටයිටැනික් නිෂ්පාදනය කළ වයිට් ස්ටාර් ලයින් සහ කියුනාර්ඩ් යන නැව් සමාගම් දෙක අතරය. කෙසේ නමුත් ටයිටැනික් නිෂ්පාදනය කර අවසන් වූ වහාම වයිට් ස්ටාර් සමාගම එංගලන්තය පුරා ප්‍රචාරය කර තිබුණේ එය දෙවියන් වහන්සේටත් ගිල්විය නොහැකි නෞකාවක් ලෙසය. ඒ අනුව 1912 අප්‍රේල් මස 10 වන දින ටයිටැනික් නෞකාව එංගලන්තයේ සදම්ටත් වරායෙන් පිටත්ව නිව්යෝර්ක් බලා යන මංගල චාරිකාව ආරම්භ කළා. ඒ මගීන් 2240ක් සමග. නමුත් ඒ තමන්ගේ අවසාන ගමන කියලා ටයිටැනික් දැනගෙන හිටියේ නෑ. ලෝකයක් කම්පා කළ මේ අනතුරින් 1500 දෙනෙකුගේ පමණ විත අහිමි වුණා. නමුත් මේ කතාව ඒ අනතුරින් දිවි බේරාගෙන පසුව ටෙනිස් පිටියේ අණසක පැතිරූ පුද්ගලයෙක් ගැන. ඔහු තමයි ඩික් විලියම්ස්.
ඇමරිකානු යුවළකට දාව ස්විස්ටර්ලන්තයේ ජීනීවාහිදී ඩික් විලියම්ස් උපත ලැබූයේ 1891 දීය. ඔහුගේ පියා, චාල්ස් විලියම්ස් ටෙනිස්ලෝලියෙකි.

ඒ අනුව ඩික් විලියස්ද ඔහුගේ මගපෙන්වීම යටතේ ටෙනිස් පුහුණුව ආරම්භ කළේ කුඩා කාලයේදීමය.
1912 අප්‍රේල් දසවනදා ඔවුන්ගේ ජීවිතවලට තීරණාත්මක දිනයක් විය. ලොව බොහෝදෙනෙකුගේ සිහින නෞකාව වූ සුඛෝපභෝගී ටයිටැනික්හි මංගල ගමනට මේ පියා සහ පුතාද එක්වූහ. පළමු පංතියේ ප්‍රවේශපත් සමඟින් ඔවුන් සුව පහසුව ගමන ඇරඹියේ ඇමරිකාවට ළඟාවීමේ අපේක්ෂාවෙනි.
සුපිරි පහසුකම් සහිතව මහල් දහයකින් සමන්විත නෞකාවේ දෙදහසකට වැඩි පිරිසක් අතර විලියම්ස් පිය පුතු දෙදෙනාද සතුටින් ගමන් ගත්හ.
එහෙත් දින හතරක් ගත වූ විට සියල්ල වෙනස් වන්නට විය. අත්ලාන්තික් සාගරයෙහි පැයට කිලෝමීටර 40ක වේගයෙන් ගමන් කරමින් තිබූ දැවැන්තයා දෙස මාරයාගේ බැල්ම වැටෙමින් තිබිණ.එම සාගර ප්‍රදේශයේ පාවෙමින් තිබූ අයිස් කුට්ටි පිළිබඳ පළමු පණිවිඩය ටයිටැනික් වෙත නොලැබිණි. නැවේ පැවති කාර්යබහුලත්වය මත දෙවන පණිවිඩයද නොසලකා හැරුණේ මාරයාට අත වනන්නාක් මෙනි. 14 වනදා මධ්‍යම රාත්‍රිය ආසන්න වද්දී විශාල අයිස් කුට්ටියක් නෞකාවේ කාර්ය මණ්ඩලයට නිරීක්ෂණය වුවත් ඒ වනවිට ඔවුන් බොහෝ ප්‍රමාදය. වේගය අඩාල කර නෞකාව වමට හරවන ලෙස නියෝග කරනු ලැබුවේ නියමු කුටියේ අණදෙන්නා වූ විලියම් මෝර්ඩොක් විසිනි. එසේ සිදුකළද නැව් බඳ අයිස් කුට්ටියේ ගැටීම වළකාලීමට ඒ තීරණය ප්‍රමාණවත් නොවීය. ඉන් ඇතිවූ හානිය තක්සේරු කිරීමෙන් අනතුරුව වහාම උදව් ඉල්ලා සිටීමට පියවර ගැනිණ. ඒ අනුව උපකාර කිරීමට ඉදිරිපත් වීමේ හැකියාව පැවතියේ ටයිටැනික් හිමිකාර්න්ගේ ප්‍රතිවාදී සමාගමකට අයත් කාපෙතියා නෞකාවට පමණි. ඔවුන්ට ද එම ස්ථානයට ළඟාවීමට පැය තුනක පමණ කාලයක් අවශ්‍ය විය. ඒ වනතුරු මගීන් රඳවාගැනීම අනතුරුදායක වූ බැවින් එකම විකල්පය වූයේ ජීවිතාරක්‍ෂක බෝට්ටු වෙත මගීන් පැටවීමයි.

කෙසේ වුවද මගීන් 2240ක් පැටවීමට ජීවිතාරක්‍ෂක බෝට්ටු 20 ප්‍රමාණවත් නොවේ. ඒ අනුව කාන්තාවන් සහ දරුවන් පළමුව ඒවාට ගොඩ කරවීමට පියවර ගැනිණ.
පළමු පංතියේ සුව පහසුව විඳිමින් සිටි ඩික් විලියම්ස් සහ ඔහුගේ පියාද මගීන් අතරට පැමිණ සහාය දැක්වූහ. අවසාන ජීවිතාරක්‍ෂක බෝට්ටුව මව් යාත්‍රාවෙන් නිදහස් වන විටද ඔවුන් ටයිටැනික්හිමය. ජීවිතයේ අනියත භාවය ඔවුන් දෙදෙනාට ද වැටහෙන්නට ඇත. එනිසාම නැව් තට්ටුව මත එහාට මෙහාට දුවමින් ගැලවීමේ මගක් සෙවීමට ඔවුහු උත්සාහ දැරූහ. නැව දෙකඩ වෙද්දී සාගරයට පැනීමට දෙදෙනා උත්සාහ ගත්තද සාර්ථක වූයේ ඩික් පමණි. පියා නැවේ සුන්බුන් අතරම ජීවිතය හැර ගියේය. අත්ලාන්තික් සයුරේ සීතල ජලයේ අඩක් ගිලී තිබූ ජීවිතාරක්‍ෂක බෝට්ටුවකට ගොඩවීමට ඩික් සමත් වූයේය.
අප්‍රේල් 15 වනදා අලුයම දෙක පසුවන විට නෞකාවේ විදුලියද සම්පූර්ණයෙන්ම විසන්ධි විය. එබැවින් ජීවිතාරක්‍ෂක බෝට්ටුවල සිටින්නන්ට සිදුවූයේ අත්ලාන්තික් සයුරට ඉහළ ගුවනේ තාරකා පමණක් දකිමින් අඳුරේ ගිලී සිටීමටය. අලුයම 2.20 වද්දී නෞකාව සම්පූර්ණයෙන් මුහුදුබත් වූ විට සුසුම්ලනවා හැර වෙනත් යමක් කිරීමට ඔවුනට ඉඩක් තිබුණේ නැත. ඒ වනවිට සාගර ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකක පමණ ඍණ අගයක් ගෙන තිබිණ. බොහෝදෙනෙකු මියයාමට හේතු වූයේ දියේ ගිලීමටත් වඩා අධික සීතල දරාගත නොහැකි වීමයි. ආධාර පිණිස කාපෙතියා නෞකාවට එම ස්ථානයට පැමිණීමට හැකි වූයේ අලුයම 3.30ට පමණය. ඒ වනවිට ඩික් විලියම්ස් පැය කිහිපයක්ම ගතකළේ ඉන තෙක් සීතල වතුරේ ගිලීය. ඔහු සමඟ එම බෝට්ටුවේ සිටි තිස්දෙනාගෙන් එකොළොස් දෙනෙකුම ඒ වනවිටද ජීවිත හැර ගොසිනි. ඩික් විලියම්ස් ඇතුළු ඒ වනවිට ජීවතුන් අතර සිටි පිරිස කාපෙතියා නෞකාවට නංවාගනු ලැබූහ.

සීතල ජලයෙන් දැඩි හානි වී තිබූ විලියගේ දෙපා කපා ඉවත් කිරීම වඩා සුදුසු බව සහන නෞකාවේදී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිර්දේශය විය. එහෙත් විලියම්ස් ඊට තරයේ විරෝධය දැක්වීය.
“මට මේ දෙපා අවශ්‍යයි.”
වෛද්‍යවරුන්ට එසේ පැවසූ විලියම්ස් දෙපාවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ළඟාකර ගැනීම වෙනුවෙන් ව්‍යායාම කරමින් උපරිම
ලෙස වෙහෙසුණේය. එහි ප්‍රතිඵල ඔහු ලැබූයේ අනතුරින් සති හයකට පසු පැවති ටෙනිස් තරඟයක් ජය ගනිමිනි. කාපෙතියාහිදී ඔහුට ටයිටැනික් ඛේදවාචකයෙන් දිවි ගලවාගත් තවත් ඇමරිකානු ටෙනිස් ක්‍රීඩකයකු වූ කාල් බ්‍රේ හමුවිය. අනතුරින් වසර දෙකකට පසු ඩික් විලියම්ස් ඇමරිකානු ජාතික ටෙනිස් ශූරතාව (වර්තමානයේ ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලිය) දිනුවේය. අර්ධ අවසන් පූර්ව වටයේදී ඔහු ජයගන්නේ කාල් බ්‍රේට් පරදමිනි. ඉන් දෙවසරකට පසුද විලියම්ස් නැවත එම ශූරතාව දිනීය.
හාර්වඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඩික් විලියම්ස් අන්තර් විශ්වවිද්‍යාල ටෙනිස් ශූරතාවටද දෙවරක් හිමිකම් ලබන්නේය. 1916 දී පළමු ලෝක යුද සමයේ ඇමරිකා යුද හමුදාවට එක්වූ විලියම්ස් යුද වීරයකු ලෙසද සම්මානිත වෙයි. යුද්ධය හමාර වීමෙන් පසු විලියම්ස් නැවත සුපුරුදු ටෙනිස් පිටියට අවතීර්ණ වූයේය.
බුද්ධිමත් ක්‍රීඩකයකු ලෙස ප්‍රචලිත ඩික් විලියම්ස්, චක් ගාර්ලන්ඩ් සමඟ එක්ව 1920 දී විම්බල්ඩන් පිරිමි යුගල ශූරතාව දිනීය. ඔහුගේ ජයග්‍රහණ අතරට ඔලිම්පික් රන් පදක්කමක්ද එක් විය. ඒ, 1924 දීය. ඔලිම්පික් ටෙනිස් මිශ්‍ර යුගල ඉසව්ව ඔහු ජයගන්නේ හේසල් වයිට්මන් සමඟිනි.
1912 දී දෙපා අහිමිවීමට සැකසුණු පිඹුරුපත් පසෙකට දැමූ ඩික් විලියම්ස් ඒ දෙපා මත නැගී සිට ටෙනිස් පිටියේ සිය අණසක පැතිරවීය. නිහතමානී මිනිසකු ලෙස බොහෝදෙනා සැලකූ ඩික් විලියම්ස් වයස අවුරුදු 77ක් වනවිට දිවි ගමන නිම කළේය. ඔහුගේ මිණිබිරිය වන මිදියා ග්‍රිෆින් පවසන්නේ සිය මුත්තණුවන් බොහෝ ප්‍රායෝගික තැනැත්තකු බවයි.
“ඔහු ඉතා වටිනා දේ දිනාගත්තා, ඒත් කිසිදා ඔහු අතීතයේ එල්ලී සිටියේ නෑ. ටයිටැනික් අනතුර හෝ ටෙනිස් ජයග්‍රහණ ගැනවත් ඔහු කතා කළේ නෑ. ඔහු සතුටින් ජීවිතය ගත කළා." ඇතැම්විට වර්තමානය සතුටින් ගතකිරීමට ඔහු අතීතයෙන් උගත් පාඩම එය පසෙකින් තැබීමම විය හැකිය.


රශ්නිකා  ලියනගේ