abhisheka-wimalaweera-speaks

ඔබේ විවාහ ජීවිතයට අවුරුදු 12ක් වෙනවා. ඔබ කලාකාරිනියක් හැටියට සාර්ථක වෙන්න ආදරණීය සැමියත් හේතුවක් නේද?

කලකාරිනියක් හැටියට සාර්ථක වෙන්න විවාහයත් හේතුවක් වුණා. තාත්තා නැතිවීමත් එක්ක මම විවාහ ජීවිතයේ නොහිටියා නම් මගේ ගමන මේ තරම් පරිස්සම් නොවෙන්න තිබුණා.

ආදරේට ඔහු යෝජනා කරද්දී ඔහු දැනගෙන හිටියද ඔබ කලාවට සම්බන්ධ කෙනෙක් කියලා ..?

ඔව්, එතකොටත් මම නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. ඔහු රූපවාහිනීයෙන් මාව දැකලා තිබුණා.

ජනප්‍රිය බිරින්දෑවරුන්ට මුවා වෙලා සමාජගත වෙන්න උත්සාහ දරන ඇතැම් පිරිස අතරේ ඔබේ සැමියා මාධ්‍ය ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඒ නිසා ඔබේ විවාහය දෙකඩ වෙලා කියලා හිතන අයත් ඉන්නවා?

මගේ සැමියා කලාකරුවෙක් නෙමෙයි. ඔහු ඉංජිනේරුවරයෙක්. කලාකරුවෝ දෙන්නෙක් විවාහ වෙද්දී මාධ්‍යයේ එකට ඉන්න වැඩි ඉඩක් තියෙනවා. ඒකෙ මම කිසිම වරදක් දකින්නෙ නැහැ. එහෙම ඉන්න ඕනේ.

මගේ සැමියා මාධ්‍ය තුළ පෙනී ඉන්න අකැමති කෙනෙක් නෙමෙයි. අපි දෙන්නටම ආරාධනා කරන තැන්වලට ඔහු එනවා. කොහොමත් මම හරිම අඩුවෙන් තෝරා බේරා ගෙන තමයි වැඩවලට යන්නේ. ඒ අතින් මමත් ඔහු වගෙයි. මගේ ප්‍රසංග හැම එකකටම ඔහු එනවා. ඈතට වෙලා බලන් ඉන්නවා. වැඩවලට අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්න එන්නෙ නෑ. අපි සතුටින් ජීවත් වෙනවා. මට ආදරේ කරන පිරිස් මගේ හඬට හා මම ලියන දේටයි ආදරේ කරන්නේ. පුංචි පුංචි ප්‍රශ්න අපි අතරෙත් තියෙනවා. ඒත් අපි ඒවා අනික් පවුල් වගේම විසඳගෙන ජීවත් වෙනවා. පවුල් ජීවිතේ දෙකඩ වෙලා කියල හිතන්න, පතුරවන්න, කතා හදන්න කැමති අපිට ආදරේ නැති අය. අපේ සතුටට අකමැති අය. මගේ යාළුවො නම් එහෙම නෑ. ඔවුන්ගෙන් අපට ලැබෙන්නෙ ආශිර්වාදයම විතරයි. ඉතින් එහෙම හිතන අයට එහෙම හිතාගන්න දීල අපි නම් සතුටින් ජීවත් වෙනවා.

 කාර්‍යබහුල ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා නිදහසේ ජීවත් වුණා නම් කියලා දැනිලා තියෙනවා ද ..?

බබාගේ වයස දැන් අවුරුදු 10ක් වෙනවා. මට පුළුවන් උපරිමයෙන් එයාව හොඳින් බලා ගන්නවා. එයා වෙනුවෙන් ජීවිතේ තව ගොඩක් දේවල් රැස් කරන්න තියෙනවා. මේ ගෙවෙන්නේ එහෙම කාලයක්. ඒ නිසා මේ ජීවිතෙන් ඈත් වෙලා නිදහසේ කාලය ගත කරන්න මට හිතට ඉඩක් දෙන්නෙ නැහැ .
(හර්ෂණී වීරරත්න)