Andrew-and-Sarah-are-assigned-to-take-care-of-the-dogs-before-the-queen-dies

සුරතල් සතුන් කෙරේ පෙමින් බැඳීමට රැජිනක වීම බාධාවක් නොවේ. දෙවන එලිසබත් රැජිනට තිබුණේද රජකමේ ආනුභාවයෙන් යටපත් කරන්නට බැරි වූ එවන් සත්ව ප්‍රේමී හිතකි. ඕ හත් හැවිරිදි වියේ සිට මියෙනතුරුම සුනඛ සුරතලුන් තිස්දෙනෙකුට වඩා රැකබලාගත් බව සඳහන්ය.
1933 අවුරුද්දේ රජ පවුලට ඩුකී’ නම් සුනඛයෙකු තෑගි ලැබුණි. ඒ එලිසබත් කුමරියගේ පියාටය. ඩුකී කෝර්ගීස් වර්ගයේ සුනඛයකු වූ අතර, සරේ ප්‍රාන්තයේ සුනඛ අභිජනන කරන්නියක වූ තෙල්මා ග්‍රේ නමැත්තියක විසින් එම ත්‍යාගය රජ පවුලට ලබාදී තිබුණි. රෝසාවෙල් ගෝල්ඩ් ඊගල්’ නම් නිල නාමයෙන් හැඳින්වූ 'ඩුකී' රජ පවුලට එක්වූ මුල්ම සුනඛ සුරතලා වුවත්, හේ අතිශය දඩබ්බරයකු විය. නිතර අමුත්තන්ව සපා කන්නට පනිමින් දඩබ්බරකම් පෑ නිසා ඩුකීට පුංචි එලිසබන්ගේ කැමතිම සුරතලා වෙන්නට නම් බැරිවිය. එහෙත් එලිසබත් කුමරිය ඩුකී සමඟ වීදි දිගේ ඇවිදගිය දසුන් නොයෙක්වර ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවට හසුව තිබුණි. ඩුකීට සෙනෙහස පාමින් එලිසබත් කුමරිය බොහෝ සතුටින් ගමන්බිමන් යන ආකාරයයි ඒවායේ සටහන්ව තිබුණේ.


ඩුකීගෙන් පසු තෙල්මා ගේ, එලිසබත් කුමරියට ඊළඟට තිලිණ කළේ සුනඛ පැටික්කියකි. කුමරිය ඇයට නම් තැබුවේ ‘ලේඩි ජේන්’ ලෙසය. ඩුකී මෙන් නොව ලේඩි ජේන් බොහෝ හුරුබුහුටි සුනඛ සුරතලියක විය. ඇයද බොහෝ කලක් රැජිනගේ ආදරය ලබමින් මාලිගයේ කල් ගෙවීය.
එම ලැයිස්තුවේ තුන්වැනි තැන ගත්තේ ‘සුසාන්’ නම් සුනඛ සුරතලියයි.
සුසාන්ව ඇයට ලැබුණේ සිය 18 වන උපන්දිනයටය. රෝසාවෙල් ලකී නම් සුනඛයා සමඟ එක්වීමෙන් සුසාන් බිහිකළ පරපුර ‘වින්ඩ්සර් පෙම්බ්‍රෝක් කෝර්ගීස්’ ලෙස හැඳින්වුණි. ඔවුන්ගේ පරම්පරා 14ක්ම සුරතලයට ඇතිකිරීමට මහරැජිනට අවස්ථාව සැලසුණු අතර එතෙක් අවධානයට ලක් නොවූ මෙම සුනඛයන්ට සමාජයේ ඉහළ ඉල්ලුමක් ඇති වීමට එයද හේතු විය.
“ඇගේ මරණය මට ඉතාම වේදනාවක් ඇතිකළ සිදුවීමක්.”
රැජින නිතර ඒ ගැන දුක් වූවාය.
සුසාන් මියගිය පසු සැන්ඩ්‍රින්හැම් වතුයායේ සුරතලුන්ටම වෙන්කර ඇති සුසානභූමියේ ඇයව මිහිදන් කළ මහරැජින ඇයව සිහිවීම සඳහා සොහොන්කොතක්ද ඉදිකළාය.
දශක හයක් තිස්සේ සුසාන්ගේ පරම්පරාවේ සතුන් 30 දෙනෙකු පමණ ධකිංහැම් මාලිගයේ හැදී වැඩුණි.
“බකිංහැම් මාලිගයේ කාමර 775ක් තිබුණත් මෙම සුනඛයින් නිතරම වාසය කළේ මහරැජිනගේ පුද්ගලික කූටිය ආසන්නයේයි.” 'ALL THE QUEENS CORGIES' ග්‍රන්ථය රචනා කළ පෙනී ජූනියර් පවසයි.
"කුෂන් කළ ගුදිර සහිත කාමරයක් ඔවුන් සඳහා වෙන්කර තිබුණා. රජ මැදුරේ මුළුතැන්ගෙයි පිසින ලද බත්, කුකුළුමස්, එළවලු ආදියෙන් සමන්විත ආහාර ඔවුන්ට ලැබුණා.

"
මහරැජින ළඟින් ආශ්‍රය කළ ඇගේ මිතුරියන් පවසන්නේ ඇය හා පිලිප් කුමරු එළිමහනේ ඇවිදින විට මෙම සතුන් ඔවුන් අසළ නිතරම දැවටෙමින් ගමන් කළ බවයි. එය අපූර්ව දසුනකි. එය බොහෝ දෙනෙකුගේ සිත පහදන දසුනක්ද විය.
“එය හරියට මහරැජිනට ගෞරව පිණිස පාවඩයක් දැමුවා වැනි දර්ශනයක්."
වරෙක ඩයනා කුමරිය ද ඒ ගැන පවසා තිබුණි.
ඇයට තමන්ගේ හෝ අනුන්ගේ සතුන් කියා වෙනසක් තිබුණේ නැත. සිය මව් බිසවගේ මරණයෙන් පසු ඇගේ සුරතල් සුනඛයින් තිදෙනාද සිය භාරයට ගත්තාය.
එලිසබත් රැජින හදාගත් අලුත්ම කෝර්ගීස් සුනඛයින් දෙදෙනා වූයේ මුයික් හා ‘සැන්ඩි’ ය. 2021 දී ඔවුන් ඇයට තෑගි කරන ලද්දේ ඇගේ බාල පුත්‍රයා වන ඇන්ඩෘ කුමරු විසිනි.
මහරැජිනගේ අභාවයෙන් පසු මෙම සුරතල් කෝර්ගීස් සතුන්ගේ කලදසාව කුමක්දැයි විමසන්නෝද වෙති. මියයාමට වසර ගණනකට පෙර සිටම ඇය එම වගකීම ඇන්ඩෘ කුමරු හා සාරා කුමරියට පවරා තිබේ. දැන් ඔවුන් වින්ඩ්සර් මාලිගය ආශ්‍රිතව පිහිටි රෝයල් ලෝජ් මන්දිරයේ වෙසෙනි.
සුනඛයන් පමණක් නොව අශ්වයන්ද ඇගේ සුරතලුන් බවට පත්වී සිටියේය. ඇය ඔවුන්ව රැක බලා ගත්තේ දරුවන් මෙනි.
“ඇගේ විවේකයෙන් වැඩි කොටසක්ම ගතවී ගියේ අශ්වයින් හා සුනඛයින් ඇසුරේ. ඇය සිය ජනතාව සමඟ විනෝදවීමට තෝරාගත්තේ තුරඟ තරඟයි.”
BBCයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ක්ලෙයාර් ඩෝල්ඩින් මෑතකදී එසේ ප්‍රකාශ කළාය.
ඇය අශ්වයන් පිට යාම පුහුණු වූයේ අවුරුදු තුනක දැරියක වශයෙන් සිටියදීය.

එය කෙතරම් දක්ෂ ලෙස ප්‍රගුණ කර තිබුණද කියතොත් අවුරුදු අනූව පසු කිරීමෙන් පසුවද ඇයට අශ්වයන් මෙහෙය වීමේ හැකියාව තිබුණි.
අශ්වයන් කෙරෙහි ඇගේ ලැදියාව පිළිබඳව රස කතාවක් ද තිබේ. එලිසබත් කුමරිය උපන්නේ රාජ උරුමය සහිත තුන්වැන්නා ලෙසිනි. කුඩා කාලයේ ඇගේ අනාගත අරමුණ කුමක්දැයි ඇසූ අයකුට ඇය දුන් පිළිතුර වූයේ තමාට අශ්වයකු වීමට අවශ්‍ය බවයි.
සිය හතරවන උපන්දිනය දා ඇයට පෝනියකු තෑගි ලැබුණි. එතැන් සිට මියයන තුරුම ඇගේ දිවියේ එක් කොටසක් අශ්වයින්ටත් අශ්ව තරඟ සඳහාත් වෙන්විය.
“ජනතාව සමඟ සතුට ඛෙදාගැනීම සඳහා ඇය යොදාගත් එක් දෙයක් වූයේ තුරඟ තරඟ නැරඹීමයි. එහිදී තරඟකරුවන් දිරිමත් කිරීමටත් අශ්වයින් සුරතල් කිරීමටත් ඇය අමතක කළේ නැහැ.
මහරැජින සමඟ වාර කිහිපයක්ම සම්මුඛ සාකච්ඡා පවක්වා ඇති BBC නිවේදිකාවක වන ක්ලෙයාර් බෝල්ඩින් එසේ පැවසුවාය. සැන්ඩින්හැම්, වින්ඩ්සර් ඇතුළු සිය රාජකීය මන්දිර ආශ්‍රිතව පිහිටි ඉස්තාල කිහිපයකම අයිතිකාරිය වූයේ ඇයයි. තරඟ අශ්වයින් බෝ කරන්නියක ලෙසද ඇයට පිළිගැනීමක් තිබුණි. ඇයගේ අධීක්ෂණය යටතේ බිහි කර ඇති අශ්වයින් ගණන 180කට වැඩිය. ඒ අතර්න් ‘ෆස්ට් රිසීවර්’, ‘ස්පාක්ලර්’, ‘බැල්මොරල් එරිකා ඇතුළු අශ්වයන් තුරඟ තරඟ ජයග්‍රහණයන්ද ලබා ගත්තේය.තුරඟ තරඟ ඉතිසාහයේ ජයග්‍රහණයක් ලැබූ එකම රාජකීය ප්‍රධානියා ලෙස ඇය අසාමාන්‍ය වාර්තාවකට හිමිකම් කියයි. ඒ 2018 වසරේදී ඇගේ ‘එස්ටිමේට්’ විසින් රාජකීය එස්කොට් තුරඟ තරඟාවලියේ රන් පදන්කම දිනාගැනීම සමඟිනි.
මහරැජිනගේ අභාවයෙන් පසු ඒ සියල්ල අතීතයට එක් වී තිබේ. දැන් ඇය බ්‍රිතාන්‍ය රාජකීය සුසාන භූමියේ සමාදානයේ සැතපෙන්නීය. සිය සුරතලුන් සමඟ විවේකය ගෙවන්නට ඇය නැවත පැමිණෙන්නේ නැත. කෝර්ගීස් පරම්පරාවේ ඡායාරූප ඇල්බමයේ, සුනඛ සුරතලුන් හා රැජිනගේ අපූර්ව ඡායාරුප එකතුව තව බොහෝ කලක් පවතිනු ඇත. ඒ ඇගේ සත්ව ප්‍රේමයද සමඟය.


වසන්ත විජේරත්න