
පසුගිය පාස්කු ඉරුදින සවස ඉතාලියේ නාපෝලියේ බස් රථයක රෝදයකට හසු වී ශ්‍රී ලාංකිකයෙකු වන 43 හැවිරිදි තිසර රංගජිව මහතා මිය ගියේය.
මෙම ඛේදවාචකය සිදුවූයේ එදින රාත්‍රී 9.30 ට පමණ 178 බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය ඉදිරිපිටදීය.සිදුවිම තවමත් පැහැදිලි නැත, බස් රථය අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු නාගරික පොලිසියේ අනතුරු අංශයට පවරා ඇත.
ශ්‍රී ලාංකාවේ හලාවත ප්‍රදේශයේ විසු දෙදරු පියෙක් වන තිසර ගැන තවත් කතා කිහිපයක් දැන් පළවේ.
මා මිහිදන් වුණාම මේ කොඩි වැල් කියයිද තුන් සිතක වින්ද වේදනා....
සෝ ළතැවුල් මවනා සුදු පිළි දරාන කිම ඔබ හඬනාකාරණා....
කියන ගීතයේ පදවැල් සිය මුහුණු පොතේ පළ කළ දිනට පසුදිනම තිසර මිය ගියේ ඉතාම ශෝකාකූල අන්දමිනි.
මෙය දෛවෝපගත සිද්ධියක් ලෙස ඉතාලියේ රැකියාවල නිරතව සිටින බොහෝ ශ්‍රී ලාංකිකයෝ සලකති. මෙවැනි පදවැලක් තිසර රංගජීව සිය මුහුණු පොතේ පළ කළේ ඊට පෙර දිනයේ මරණය ගැන යම් ඉඟියක් ඔහුගේ චිත්ත සන්තානයට දැනීම නිසා විය හැකි බවට එරට වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයෝ විශ්වාසය පළ කරති.
තිසර රංග ජීව මහතා ගැන ඉතාලියේ නාපෝලියේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු අදහස් දක්වා ඇත.එමිල් රොහාන් මහතා පවසන ආකාරයට තිසර රංග ජීවගේ ගජ මිතුරකු වන දිනේෂ් නිහාල් නාපෝලි නගරයේ මාර්ගයක් ඔස්සේ සිය කාර් රථය ධාවනය කරගෙන යද්දී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ අසල තිබූ තාප්පයක ගැටී බරපතළ තුවාල ලබා මිය ගොස් ඇත.
මෙම මාරක අනතුර සිදුවී තිබුණේ පසුගිය වසරේ ජුනි මාසයේ 14 වැනිදා නාපෝලි නගරයේ මාර්ගයකදීය.එම මාරක අනතුර සිදු වී දිනේෂ් නිහාල් මිය යෑමට පෙර දිනයේ ඔහුගේ මුහුණු පොතේ සටහන් කර තිබී ඇත්තේ මෙවැනි අපූරු වැකි පෙළකි.
මොකට ද දවස් හතක්.
හොඳටම ඇති එක දවසක්.
සුදු කොඩි එපා. දුක් වෙන්න එපා උඹලා කොහොමවත් හිනහා වෙවී මැරෙන්නේ මම.
ඕමියක් ගහලා කැරම් අතක් ඇදලා
ප්ලේන්ටි එකේ බිස්කට් එකක් පොඟවාගෙන කන ගමන් අම්මගේ හිත හදාපන්.
යහළුවෝ එයි මගේ මළ ගමට ඇති තරම්. එකෙක් අල්ලගෙන බයිට් කරපන්. මගේ හිතේ නැහැ කිසි තරහක්.
දිනේෂ්ගේ මුහුණු පොතේ මෙය පළ කළ දිනට පසු දින ඔහු හදිසි අනතුරකට ලක්වී මිය ගියේ ද දෛවෝපගත අයුරිනි.
දිනේෂ් ද ඔහුගේ මරණය ගැන පෙර දිනයේ සිතට දැනී මෙවැනි අපූරු සටහනක් සිය මුහුණු පොතේ පළ කරන්නට ඇතැයි ඉතාලියේ වෙසෙන ඔහුගේ සමීපතම මිතුරෝ කිහිප දෙනෙක් පැවසූහ.
තිසර රංගජීව ද සිය ගජ මිතුරාට මෙන් සීතල මරණය ගැන පෙර දිනයේ සිතට දැනී අපූරු ගීතයක පදවැල් මුහුණු පොතට එක් කර පසු දින මිය යෑම ගැන ඉතාලියේ වෙසෙන බොහෝ දෙනකුගේ කතා බහට ලක්වී ඇති බව කියති.
තිසර රංග ජීව මගී ප්‍රවාහන සේවා බස් රථයක ගැටී මියගිය ආකාරය ගැන ද ඉතාලියේ රැකියාවල නිතරව සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන් අතර දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව ඉතාලියේ රැකියාවක නිරතව සිටින එමිල් රොහාන් මහතා පවසයි.
තිසර නා පෝලි නගරයේ ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය චරිතයකි.
උදව්වක් ඉල්ලාගෙන එන ඕනෑම අයකුට හැකි පමණින් උදව් කිරීමට ඔහු කිසි විටෙකත් පැකිලුණේ නැත.සැබැවින්ම ඔහු හිත හොඳ මිනිසෙකි. තිසර රංගජීව නා පෝලි නගරයේ කෞතුකාගාර මාර්ගයේ පිහිටි බස් නැවතුම්පොළක් ඉදිරිපිට රැඳී සිටිය දී මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් අනතුර සිදු වූ ස්ථානයේදීම මියගොස් තිබිණි.
තිසර රංග ජීව බස් රථයට ගොඩවීමට දිව එද්දී මාර්ගයේ තිබූ යමක ගැටී බස් රථය දෙසට තල්ලු වී එම බස් රථයේ ගැටී මිය ගියේ දැයි යන්න ගැන මෙම මාරක අනතුර සම්බන්ධයෙන් කැරබිනේරි (ඉතාලි රාජ්‍ය පොලිසිය) පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන බව එමිල් රොහාන් මහතා වැඩිදුරටත් පැවසීය.
කැරබීනේරි පොලිසියට අමතරව නා පෝලි නගරයේ නාගරික මගී ප්‍රවාහන සේවය වන ඒ.එන්.එම්. ආයතනය මගින්ද වෙනම පරීක්ෂණයක් පවත්වාගෙන යන බව එමිල් රොහාන් මහතා පෙන්වා දුන්නේය.
එකම අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරා ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.අවුරුදු හයක සහ අවුරුදු හතරක දරු දෙදෙනෙකුගේ ආදරණීය සෙනෙහෙබර පියකු වූණ රංග ජීව මහතා හදිසි අනතුරකට ලක්වී ඉතා ශෝකාකූල අන්දමින් මිය යන විට 44 වන වියේ පසුවිය.
ඔහුගේ උපන්ගම හලාවත අලුත්වත්ත ප්‍රදේශයේයි. රංග ජීව අකුරු කළේ හලාවත ආනන්ද ජාතික පාසලෙනි.ඔහු ඉතාලියේ රැකියාවක් සඳහා පැමිණ ඇත්තේ මීට වසර හයකට පමණ ඉහතදීය.
තිසරගේ ආදරණීය බිරිඳ සහ දරු දෙදෙනා ද පදිංචිව සිටින්නේ නා පෝලි නගරයේය. ඔහු සේවය කර ඇත්තේ අවන්හලකය.
මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු තිසරගේ දේහය ඔහුගේ බිරිඳට භාර දෙනු ලැබුවේ ඉකුත් (6) දිනයේය. අවසන් බුහුමන් දැක්වීම සඳහා තිසරගේ දේහය පාලි බෞද්ධ විහාරස්ථානයේ තැන්පත් කර ඇත.
ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ඔහු දන්නා හඳුනන එරට සිටින විදේශිකයන් ද වැල නොකැඩී පැමිණෙන බව එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.තොරතුරු දුන් එමිල් රොහාන් මහතාට විශේෂ ස්තූතිය පළ කරමු.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

Comments
Post a Comment
Your comment will be visible after approval