තාක්‍ෂණයේ දියුණුවත් සමඟ විශ්ව ගවේෂණයට බොහෝ රටවල් පර්යේෂණ දියත් කරමින් සිටින යුගයක උපන් බිමේ නම ලෝකය හමුවේ ඔසවා තබා ශ්‍රී ලාංකික වීර කතක් වන්නට පියුමි විජේසේකරට ලැබී ඇත්තේ අනගි අවස්ථාවකි.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥවරියක වන ආචාර්ය පියුමි විජේසේකරට ඇමෙරිකාවේ හූස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ග්‍රහයා ගවේෂණය කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගි වීමට අවස්ථාවක් ලැබී ඇත. මෙම ආදර්ශ මෙහෙයුමට සහභාගිවීම සඳහා සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නාසා ආයතනය ප්‍රකාශයට පත්කර ඇති අතර එම කණ්ඩායමට ආචාර්ය පියුමි විජේසේකර, ජේසන් ලී, ස්ටෙෆනි නවාරෝ සහ ෂරීෆ් අල් රොමේති යන අයගේ නම් ඇතුළත්ව ඇත.



මෙරට නියෝජනය කරන ආචාර්ය විජේසේකර ඇතුළු කණ්ඩායම අඟහරු ගවේෂණය කිරීමේ ආදර්ශ මෙහෙයුමට සහභාගිවීම සඳහා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි ආදර්ශ ගවේෂණ මෙහෙයුම් සඳහා නිර්මාණය කරන ලද ‘හේරා’ නමින් හඳුන්වන මහල් තුනකින් සමන්විත ආකෘතියට මැයි 10 වැනිදා ඇතුළු වීමට නියමිතව ඇති අතර ඔවුන් එහිදී ගගනගාමීන් ලෙස වෙසෙමින් සහ සේවය කරමින් දින 45 ක කාලයක් අදාළ ආකෘතිය තුළ සිටීමටද නියමිතය. ඔවුන් මෙම ආකෘතියෙන් පිටතට පැමිණීමට නියමිතව ඇත්තේ ජුනි 24 වැනිදාටය.
අඟහරු ගවේෂණයට යන අපේ පියුමි



විශ්ව ගවේෂණය සඳහා ගවේෂණ කටයුතු කෙරෙහි ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් අභ්‍යවකාශ පරිසරයට හුරුකිරීම උදෙසා නාසා ආයතනය ‘හේරා ආකෘතිය’ ඇසුරු කරගෙන පුහුණුවීම් කටයුතු වල යෙදෙනු ලබයි.

අඟහරු ග්‍රහයා වෙත ගොස් සිදුකරනු ලබන ගවේෂණ මෙහෙයුමේදී විජේසේකර මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායමට පර්යේෂණ කිහිපයක්ද සිදුකිරීමට නියමිතව ඇති අතර අතත්‍ය තාක්‍ෂණය උපයෝගී කොට ගෙන අඟහරු ලෝකය මත ඇවිදීමටද සැලසුම් කොට ඇත.

ආචාර්ය පියුමි විජේසේකර ලබා ඇති අධ්‍යයන කටයුතුද බොහෝය. ඇය කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ නාසා ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියකි. 2015 වසරේ ඇමෙරිකාවේ සැන්. ඩියෝගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියද හිමිකරගෙන ඇත.

පීටර්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 2017 වසරේ ලබාගෙන ඇති අතර ආචාර්ය උපාධිය 2022 වසරේ ලබාගෙන ඇත.

මේ වනවිට ඇය පදිංචිව සිටින්නේ ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරය. සංගීත සංදර්ශනවලට හා ප්‍රසංගවලට සහභාගි වන ඇය පොත් කියවීම හා කඳු නැගීමට දක්වන්නේද මහත් රුචියකි.

රමින්ද මාවතගේ