beauty-advice

නිතර කෝපයට පත්වන්නා දිනපතා ස්නානය කළත්, කෙස් රැවුල් කැපුවත් දිනෙන් දින දුර්වර්ණ වන බව බුදුන්වහන්සේ දේශනාකොට ඇත. කෝපය පමණක් නොව ලැජ්ජාව, බිය, දුක, ආතතිය වැනි ඕනෑම අයහපත් මනෝභාවයක් නිතර නිතර ඇතිවීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ සමත්, සිරුරත් අකාලයේ වැහැරී යාමය.සිතේ ඇතිවන මනෝභාවයන් මගින් අපේ සිරුරට ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් ඇතිකරන බව මේ වනවිට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත. ඉදින් අද මේ කියන්නට යන්නේ සිතේ සතුට රැකගත හැකි නම් ලස්සන වීමටත්, තරුණවීමටත් සතයක්වත් වැය කළ යුතු නැති බවය.


මුලින්ම බැලිය යුත්තේ ඒ ඒ මනෝභාවයන් බාහිර පෙනුමට හානිකරන හැටි ගැනය. මේ හැඟීම් අතුරින් ලොකුම හතුරන් වන්නේ දුක සහ ආතතියයි. කාලයාගේ ඇවෑමකින් තොරව ඔබව වයස්ගත කිරීමට මේවාට හැකිය. එයට හේතු වශයෙන් වෛද්‍යවරුන් පවසන්නේ ආතතියෙන් හෝ දුකෙන් පෙළෙනවිට ස්‍රාවය වන කෝටිසෝල් නමැති කරදරකාර් හෝර්මෝනයයි. සමේ සෛල බිඳවැටීම වේගවත් කිරීමටත්, නව සෛල ඇතිවීම ප්‍රමාද කිරීමත් කෝටිසෝල් හපනාය.
මේ නිසාම යම් ආතතියකින්, දුකකින් සිටින අයෙකු හඳුනාගැනීම පහසුය. මන්ද එවැන්නවුන්ගේ සම රැළි වැටීම, මුහුණ කළුවීම, අකලට කෙස් හැලීම, සිරුර කෙසඟවීම, සම වියැළීම,කුරුලෑ ඇතිවීම වැනි ලක්ෂණ බොහෝ විට දැකිය හැකිය.


ගතට හානි කරන ඊළග හතුරා කෝපයයි. කෝප ගන්නා සැමවිටම මුහුණේ මාංශපේෂීන් අධික ලෙස තෙරපෙන නිසා මුහුණ රැළි වැටීම වේගවත් වේ.හොස්ස ළඟින් මැස්සා යන්නට බැරි අයගේ සිරුරේ ඇති තුවාල සුවවන වේගයට වඩා හතරගුණයක වේගයෙන් කෝප නොගන්නන්ගේ තුවාල සුවවන බව ඇමෙරිකානු වෛද්‍ය පරීක්ෂණ කණ්ඩායමක් වරක් හෙළිකර තිබුණි. මේ නිසා කෙනෙකු සමඟ කෝප ගැනීමට පෙර එහි ප්‍රතිඵලය තමාටත් විඳීමට සිදුවන බව සිතට ගැනීම හොඳය.
ඊළඟට කතා කරන්නේ ලැජ්ජා බය ගැනය. ලැජ්ජාව නම් හැඟීම දැනෙන විට නියුරෝපෙප්ටයිඩ (Neuropeptide) නමැති රසායනික සංවේදකය සිරුරට මුදාහැරේ. ලැජ්ජාවෙන් ඇඹරෙන අයගේ මුහුණු රතු වෙන්නේ මේ සංවේදක නිසාය.
මේවා නිතර නිතර ස්‍රාවය වීමේ ප්‍රතිඵලය වන්නේ රුධිර වාහිනී ඉදීමී ඇස් යට අවලස්සන වීමය (Eye bags).නිතර බයවීමේ ප්‍රතිඵලයත් මීට දෙවැනි නැත. සිතට බයක් දැනුණු විට මුදාහැරෙන ඇඩ්‍රිනලීන් (Adrenaline) හෝර්මෝනය නිසා සම අවපැහැගැන්වේ. භය බිරාන්ත වූ අයෙකුගේ සම සුදුමැලි වන හැටි එවෙලෙහිම දැකගත හැක්කේ ඒ නිසාය.
හිතේ ඇතිවන හැඟීම් ඔබේ සමේ සළකුණු තබන්නේ ඔය ලෙසයි.

ඒ නිසා
හිතේ ඇතිවන ලෙඩවලට අවලස්සන වූ පසු දහස් ගණන් මුදල් වැයකර ක්‍රීම් උලන්නටත්, පෙති බොන්නටත් යාම ගඟට ඉනි කපන්නා වාගේය. චිත්තවේගවලට ඔබේ සමත්, සිරුරත් පාලනය කරන්නට ඉඩ නොදී ඒවායේ පාලන බලය ඔබේ අතට ගැනීම කළ හැකි හොඳම දේය.
සිනහව ලෝකයේ හොඳම ඖෂධය බවට කියමනක් ඇත. ප්‍රීතිජනක හැඟීම් නිසා මිනිසුන් සුන්දර වන බව සහ නිරෝගී වන බව විද්‍යාත්මකවද තහවුරු කර ඇත.එසේ වන්නේ නිතර සතුටින් සිටින විට ස්‍රාවය වන ඩොපමීන් (Dopamine), සෙරටොනින් (Serotonin), සහ ඔක්සිටොසින් (Oxytocin) වැනි සතුටු හෝර්මෝනවල බලය නිසාය. “ඇග මහත් වෙන්න මොටද බෙහෙත් බොන්නේ... හිනාවෙන්න හිනාවෙන්න එතකොට තර වෙන්නේ...” කියා ගී ගෑයී ඇත්තේද ඒ නිසාය. මානසික සතුට රැකගැනීමට නම් හොඳ නින්දක් සහ සෞඛ්‍යසම්පන්න ආහාරවේලක් ලබාගැනීම වැදගත්ය.
මනස සැහැල්ලු කරන භාවනා, යෝගා ක්‍රම සහ ශාරීක ව්‍යායාමවලට ඔබගේ අවධානය යොමු කිරීම අගනේය. මල් වැවීම, මනස ලිහිල් කරන සංගීතය ඇසීම, පොත් කියැවීමද මොළයට හොඳය.
එදිනෙදා ඇතිවන ප්‍රශ්න ගැටලු සංකීර්ණව නොගෙන ඒවා විසදාගැනීමට උත්සාහ කළ යුතු අතර, විශාදය, කාංසාව ඇතිනම් හෝ චිත්තවේග පාලනය අපහසු නම් නිසි උපදේශනවලට හෝ ප්‍රතිකාර වෙතට යොමුවීම වැදගත්ය.
ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශක මාලිංග ප්‍රනාන්දු (Personal Grooming fernando.malinga]


නදීශා නිර්මාණි