balapitiya-incident

රුපියල් ලක්ෂ 60ක පමණ  වටිනාකමකින් යුත් රත්රන් පැලද, නවීන පන්නයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට්හි දේවාලයක කපුවකු බව කියන අයකු ඇතුළු තිදෙනකු සුදු යකඩ කඩුවක් ද සමග ඊයේ (7) දහවල් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ රුපියල් ලක්ෂ විසිපහක මුදලක් පොලිසියට දී පලා යෑමට උත්සාහ කර ඇති බව ද ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.අත්අඩංගුවට ගත් සැකකරුවන් නාරම්මල, හොරොම්බාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වන හා පිට වන වාහන පරීක්ෂාවකට ලක්කරමින් සිටියදී පිවිසුමෙන් පිටතට පැමිණි නවීන පන්නයේ වාහනයක් පරීක්ෂා කර ඇති අතර, එහි දී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි.

ඔවුන් අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණියේ තැඹිලි ගෙඩියක් බොන්නට බවත්, වත්තල ප්‍රදේශයේ සිට ඉමදූව දක්වා ගමන් කිරීමට පැමිණි බවත් පොලිසියට ප්‍රකාශ කර ඇත.සැකකරුවන්ගේ වාහනය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත සිගරැට් පෙට්ටි 5ක් සහ සුදු යකඩ කඩුවක් ද සොයාගෙන තිබේ.

සැකකරුවන් තිදෙනාම ඉතා විශාල වශයෙන් රත්රන් පැළඳගෙන සිටි බවත්, එම තිදෙනා පැළඳ තිබූ රත්රන්වල වටිනාකම රුපියල් ලක්‍ෂ 60කට අධික බවත් ඇල්පිටිය පොලිසිය කියයි. සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ඇති අතර, මුදාහරින්නේ නම්, රුපියල් ලක්ෂ 25ක මුදලක් එම අවස්ථාවේදීම පොලිසියට දීමට හැකි බව ද ඔවුන් ප්‍රකාශ කළේ යැයි ඇල්පිටිය පොලිසිය සඳහන් කරයි.සැකකරුවන් ඔවුන් පදිංචි ප්‍රදේශ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කළ බව ඇල්පිටිය පොලිසිය කියයි.

ජයකාන්ත ලියනගේ  -  බළපිටිය