act-change-abuse

වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැනු දරුවකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුවහොත්, ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට ඉදිරිපත් කෙරුණු සංශෝධන ඉල්ලා අස් කරගන්නා බව අධිකරණ, ඛන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 1 )පැවැසීය.

මානුෂීය පැත්තෙන් බලා ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි සිද්ධිවලට අදාළව අද වන විට නඩු තීන්දු තුනක් දී ඇති බවත්,

පාර්ලිමේන්තු පනතෙන් අනිවාර්ය සිරදඬුවමක් ලබාදීමට නියම කළ ද, නඩුවේ කරුණු අනුව අධිකරණයේ අභිමතය පරිදි විනිසුරුවරුන් ලිහිල් දඬුවම් ලබා දී ඇති බවත් රාජපක්ෂ මහතා පැවැසීය.මෙයින් විනාශ වීමට යන ජීවිත දෙකක් බේරා ගන්නා බව ද හෙතෙම කීවේය. අද පොතේ තියෙන්නේ එක නීතියක් බවත්, අධිකරණය අනුගමනය කරන්නේ තව නීතියක් බවත්, මේවා එකිනෙකට පෑහෙන්නේ නැති නම් ගැටලුවක් බවත් අමාත්‍යවරයා කීය. විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.

"මේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥවරුන්, වෙනත් නීතිඥවරුන් සහ වෘත්තිකයන් කිහිපදෙනකු එකතු වෙලා අවුරුදු පහක් තිස්සේ අධ්‍යයනය කරලා තමයි හැදුවේ. මේ වගේ නඩු මහාධිකරණයට එනකොට සියයට අනූවක්ම ඒ ගොල්ලන් වැඩිවියට පත්වෙලා. විවාහ වීමට හැකියාව තියෙනවා. ඒ අයට දරුවොත් ඉන්නවා. සමහර අය බැඳලා. සමහර අය බඳින්න කැමැතියි. ඒත් අනිවාර්ය දඬුවම නිසා ඒ තරුණයා අනිවාර්යයෙන්ම අවුරුදු දහයක් හිරේ යන්න ඕනෑ.

ඒක තමයි අපි වෙනස් කළේ.කෙසේ නමුත් මේ ගැන තියෙන විරෝධතා සැලකිල්ලට ගෙන සංශෝධන ඉවත් කරගන්නවා. පස්සේ මේ ගැන සාකච්ඡා කරලා වෙනම සංශෝධන ඉදිරිපත් කරන්න කටයුතු කරනවා."
අංජුල මහික වීරරත්න
Email ThisBlogThis!Share to TwitterShare to Facebook