thilina-gamage-threat

පාතාලයට සම්බන්ධකම් කියන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් නාඳුනන තුවක්කුකරුවකු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව තිලිණ ගමගේ මහතාගේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

දුර සිට ග්‍රේනේඩ් විඳිනයක් භාවිත කරමින් නන්නාඳුනන තුවක්කුකරුවකු විසින් ප්‍රහාරයක් එල්ල කර තිලිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දෙනු ලැබූ උපදෙස්වලට අනුව තිලිණ ගමගේ මහතාගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ඔත්තුකරුවකු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට යොමු කළ ලිපියකට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාගේ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඝාතනය කිරීමට එක්තරා පුද්ගලයකු යමකුගෙන් දුරකතන මාර්ගයෙන් ගිනි අවිය ඉල්ලා ඇති බවට

ඔත්තුකරුවකු දුන් තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ රහස් පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ තොරතුරුකරුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ගිනි අවිය ඉල්ලා ඇති පුද්ගලයා සම්බන්ධ සියලු තොරතුරු හෙළි කර ඇතැයි  වාර්තා වේ.

මෙම ගිනි අවිය යොදාගෙන මීටර් 150ක පමණ දුරක සිටින පුද්ගලයකුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ හැකි බව මූලික විමර්ශනවල දී හෙළි කරගෙන ඇති අතර, සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත. මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට විශේෂ ආරක්‍ෂාවක් සැපයීමට ද පොලිසිය පියවර ගෙන ඇත.


මනෝප්‍රිය ගුණසේකර