harak-kata-family

සංවිධානාත්මක අපරාධකරුවකු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට පිටතින් ආහාර ලබාගැනීමට, විත්තිකරුට මව, පියා, බිරිඳ සහ නීතිඥවරුන් හමුවීමට දී ඇති කාලය දීර්ඝ කිරීමට කරන ඉල්ලීම්වලට අදාළ පහසුකම් සලසාදීමට හැකියාවක් ඇතිදැයි සොයා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නීතිපතිවරයාට ඊයේ (26) දැනුම් දුන්නේය.



අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමට අදාළ පහසුකම් සලසාදීමට ඇති හැකියාව මෙම නඩුව යළි කැඳවන ලබන මස 08 වැනිදා අධිකරණයට දැනුම්දෙ දෙන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නීතිපතිවරයාට දැනුම් දුන්නේය.



පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස්  නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළායාමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහි නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.

හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැනයාමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වූ රවිඳු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කර ඇති විනිසුරුවරයා නඩුවේ තුන්වන විත්තිකාර හිටපු පොලිස් නිලධාරියකු බව කියන දිනේශ් සුරංග නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කෙරිණි.

කොළඹදී රහස් පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා කටයුතු කිරීම හා ඊට ආධාර අනුබල දෙන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා 22 ක් යටතේ නඩු පවරා තිබුණි.මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන රවිඳු සංදීප සහ හරක් කටා රහස් පොලිසියෙන් පිටතට පැනගත් විට ඔහු රැගෙන යාමට සුදානමින් සිටි බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන දිනේෂ් තරංග නමැත්තන්ය.



නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් රැඳවුම් භාරයේ පසුවන තම සේවාදායකයාට නීතිඥවරු හමු වී උපදෙස් ගැනීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයකුට විනාඩි 15ක කාලයක් දෙන බවත් මව, පියා සහ බිරිඳ හමුවීම සඳහා විනාඩි 15 ක කාලයක් දෙන බවත් පැවැසීය.එම කාලය පැයක කාලයක් දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා තම දරුවා සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට ඔහුට පහසුකම් සලසා දෙන්නැයි ද ඉල්ලා සිටියේය.

තම සේවාදායකයා රඳවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා ඇද්දැයි වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කරන්නැයිද විත්තිකරු තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා තම සේවාදායකයාට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන්නැයිද ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු ඉල්ලා සිටින පහසුකම් අතුරින් ලබා දිය හැකි ඒවා කවරේදැයි පරීක්ෂා කර බලා මෙම නඩුව යළි කැඳවන අප්‍රේල් මස 08 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර