sathosa-case

සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගෙන රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබියදී රෝහල්ගතවී ඇතැයි කියන එම නඩුවේ තුන්වන විත්තිකාර සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳව වහාම වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 28දා නියෝග කළේය.



සිය අධිකරණයේ නියෝගය වහාම ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයි කියන කුරුණෑගල සමුපකාර රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ෆැක්ස් මාර්ගයෙන් යැවීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරුවරයා අධිකරණ ලේඛකාධිකාරීවරියට නියෝග කළේය.

සිය සේවාදායකයා 27දා හදිසියේ අසනීපවීම නිසා ප්‍රතිකාර ලබාගැනීමට කුරුණෑගල සමුපකාර රෝහලට ඇතුළත් වී ඇතැයි එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයට පැවැසීය. එම නඩුවේ පළමුවන හා දෙවන විත්තිකරුවන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා එරාජ් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩු විභාගය ලබන ජුනි 24 වැනිදා දක්වා කල් තැබූ විනිසුරුවරයා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට පැමිණ සිටි සාක්ෂිකරුට එදින යළි පෙනී සිටින ලෙසට අවවාද කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක