ranil-speaks

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයන් දීමට නම් විෂය දැනුම දී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට දිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා එ අනුව පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව ද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ඊයේ (25) පෙරවරුවේ පැවැති 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.දිවයිනේ 1-5 දක්වා ශ්‍රේණි වල සියලුම පාසල් සිසුන්ට පාසලේදී ප්‍රධාන ආහාර වේලක් දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණ වේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට පෙර පෙරවරු 7.30 ත් 8.30ත් අතර කාලයේදී මෙම උදෑසන ආහාර වේල දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.




' නිරෝගී ක්‍රියාශීලි දරු පරපුරක්' යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටමේ වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම ය න මූලික අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂිත ය.රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලුම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් ලක්ෂ 16ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර, ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර, එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදන ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමක් කිරීමට ද දායකවීමකි.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිතව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යයන් පවරා ඇත.මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් විදුහල්පතිනි ප්‍රියංගිකා විජේසිංහ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිහිවටන තිළිණයක් පිළිගැන්වූවා ය.උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.



“අද පාසල් ආහාර වැඩසටහන ආරම්භ වනවා. අධ්‍යාපනය සම්පූර්ණ වීමට නම් සිසුන්ට විෂය දැනුම දී විභාගවලට ඉදිරිපත් කිරීම වගේම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළ යුතුයි. ලෝකයේ රටවල් ගණනාවක් මෙම පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මන්දපෝෂණය රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අප අස්වැසුම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී ජනතාවට දෙන මූල්‍ය සහනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන් අතර මන්දපෝෂණය ඉහළ යාමට ආදායම් මට්ටම පමණක් හේතුවී නැහැ. ඇතැම් සිසුන් පාසල් වෙත පැමිණීමට නිවසින් පිටවන්නේ උදෑසන උදෑසන 6.00ට පමණ. එවිට ඔවුන්ගේ උදෑසන ආහාර වේල මගහැරෙනවා. ඒ වගේම දිවා ආහාර වේලත් මගහැරී යනවා. ඒ නිසා කුමන තරාතිරමකට අයත් වුවත් කුමන ජාතියකට, ආගමට අයත් වුවත් සියලු දරුවන් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා සිසුන්ට පාසල් තුළ ආහාර වේලක් ලබාගැනීමට අවස්ථාව සලසාදීම ඉතා වැදගත් වෙනවා.

අප නවීන තාක්ෂණය සමග ඉදිරියට යා යුතුයි. එම තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ අනුව පාසල් අධ්‍යාපනය සහ විභාග ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. මෙම නවීන තාක්ෂණ දැනුම සමග දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ද වර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ද අප වැඩසටහන් සැලසුම් කර තිබෙනවා". අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ. මේ අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, අරවින්ද කුමාර් යන මහත්වරු ද සහභාගී වූහ.
අංජුල මහික වීරරත්න