එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වරාය ආසන්නයේ පිහිටි පැටැස්කෝ ගංගාව හරහා ඉදි කර තිබූ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ කුලුනක් හා ගැටුණු දැවැන්ත බහාලුම් ප්‍රවාහන නෞකාවක් හේතුවෙන් එම පාලම කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම අවස්ථාවේදී පාලම මතින් මෝටර් රථ හතක් පමණ ධාවනය වෙමින් තිබී ඇති අතර, එම වාහන ඒවායේ ගමන් කළ පිරිස්ද සමගින් ගංගාවේ ගිලී ගොස් තිබේ. මෙම අනතුර රාත්‍රී කාලයේදී සිදුවීමත් සමගින්ම මෙම පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම් වෙත බාධා එල්ල විය.
ඒ අනුව මෙම සටහන ලියැවෙන මොහොත වන විටත් බැල්ටිමෝර් පොලිස් නිලධාරීන්, සෝනාර් තාක්ෂණික උපාංග මෙන්ම කිමිදුම්කරුවන්, ගුවන් යානා සහ සෝදිසි කණ්ඩායම් යොදා ගනිමින් ගංගාවේ එම වාහන ගිලී ඇති ස්ථාන හඳුනාගනිමින් ඒවායේ සිටින පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම්හි තවදුරටත් නිරත වෙමින් සිටියේය.

Dali ලෙස නම් කෙරේ ඇති මෙම නෞකාව සිංගප්පූරු ධජය දරමින් යාත්‍රා කරමින් තිබූවක් බව අනාවරණය වී තිබේ. එය සිංගප්පූරුවෙහි Grace Ocean Private Ltd නම් නෞකා සමාගමට අයත්ව සුප්‍රසිද්ධ Maersk සමාගම යටතේ ක්‍රියාත්මක වූවකි.
Maersk සමාගම සඳහන් කරන ආකාරයට මෙම නෞකාව ඊයේ (26දා) බැල්ටිමෝල් වරායෙන් පිටත්ව ලබන අප්‍රේල් 22 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතව තිබූ නෞකාවකි.
මෙහිදී විශේෂිත නෞකා මෙහෙයුම් සිදු කරන සමාගමක් වන සිනර්ජි මැරීන් ගෲප් සමාගම එහි මෙහෙයුම් සිදු කර තිබේ. නෞකාව මගින් සිය ගනුදෙනුකරුවන්ට අයත් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවද Maersk සමාගම පවසා සිටියි.


සිනර්පී මැරින් ගෲප් සමාගම සිය වෙබ් අඩවියේ සඳහන් කළ ආකාරයට මෙම නෞකාව බහාලුම් 10,000 ක ධාරිතාවක් රැගෙන යා හැකි නෞකාවකි. මෙම අනතුර සිදුවන අවස්ථාව වන විට එහි බහාලුම් 4,679 ක් තිබී ඇත.
මෙම Dali නෞකාව එක්සත් ජන පද නැගෙනහිර වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රී
12.44 ට පමණ බැල්ටිමෝර් වරායෙන් පිටත්ව පැටපස්කෝ ගංගාව කරා ළගා වෙමින් තිබියදී මෙලෙස පාලමෙහි ගැටී තිබේ. එම අවස්ථාවේදී වේලාව අලුයම 1.25 ලෙස සටහන්ව ඇත.
නෞකාව පාලමෙහි ගැටෙන ආකාරය සහ ඉන් අනතුරුව පාලමේ ලෝහ රාමුව ඇතුළු කොටස් කැඩී ගංගාව වෙත ඇද වැටෙන ආකාරය අසල පිහිටි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබේ. මෙම ගැටීමත් සමගින්ම නෞකාවේද ආලෝක පද්ධතිය වෙත යම් බලපෑමක් එල්ල වන ආකාරයද එම දර්ශනවලදී දැක ගත හැකිය.
ඊයේ පෙරවරුවේදී ලබාගත් ඡායාරූප සටහන් වලට අනුව මෙම පාලම කඩා වැටීමෙන් නෞකාවේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇති අතර, එහි පටවා තිබූ බහාලුම් අතරින් කිහිපයක් පෙරළී ගොස් ඇත.
නෞකාව මෙලෙස පාලමෙහි කුලුනක් හා ගැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. එය පාලනයකින් තොරව යාත්‍රා වීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි මූලික අදහස වී තිබේ. එසේම ඇතැම් විට නෞකාවේ ආලෝක
පද්ධතියේ ඇති වූ දෝෂයක් නිසා ඉදිරිය අපැහැදිලිවීම මෙම ගැටුමට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. කැමරා දර්ශන වලට අනුව අවස්ථා දෙකකදී නෞකාවේ ආලෝකය නැති වී යන අයුරු සටහන්ව තිබේ.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බව බැල්ටිමෝර් බලධාරීන් සඳහන් කර තිබේ.
මෙම ගැටීම සිදුවන අවස්ථාවේදී නෞකාව තුළ කාර්ය මණ්ඩල සාමාජිකයන් 22 දෙනෙකු සිටි බව අනාවරණය වී තිබේ. ඔවුන් සියලු දෙනාම ඉන්දියානු ජාතිකයන් වන අතර, අනතුරින් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැතැයි සිනර්ජි මැරීන් ගෘප් සමාගම පවසා තිබේ.

කෙසේ වෙතත් නෞකාව පාලමෙහි ගැටී එය කඩා වැටෙන අවස්ථාව වනවිට පාලම මතින් ගමන් කරමින් තිබූ රථවාහනවල සිටි පිරිස් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙමින් පැවතුණි. මෙම අනතුර සම්බන්ධ ආරක්ෂිත කැමරා දර්ශන වල පාලම මතින් ධාවනය කෙරෙන රථ වාහන කිහිපයක ආලෝක සංඥා දැක ගත හැකිය.
එහිදී මෝටර් රථ තුළ සිටි පුද්ගලයන් හත් දෙනෙකුට අධික පිරිසක් ගංගාවට වැටී ඇතැයි සැක කෙරුණු අතර, ඔවුන් සහ ඔවුන් සිටි මෝටර් රථ තිබෙන ස්ථාන සොයා ගැනීම සඳහා

බැල්ටිමෝර් පොලීසිය සෝනාර් තාක්ෂණය යොදා ගෙන තිබුණි. ඒ අනුව ගංගා පතුලේ ඇති මෝටර් රථ කිහිපයක් හමු වූ බවද පොලීසිය පැවසීය. මෙම මෙහෙයුම් වලදී පුද්ගලයෝ දෙදෙනෙකු ගලවා ගැනීමට හැකි වූ බවද බැල්ටිමෝර් පොලීසිය සදහන් කළේය. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල විය.
මේ අතර අනතුර සිදු වන අවස්ථාවේදී ඉදිකිරීම් සේවකයන් පිරිසක්ද එම පාලමෙහි නඩත්තු කටයුත්තක යෙදී සිට ඇති අතර, 20 දෙනෙකුට අධික පිරිසක් පැටැප්ස් ස්කෝ ගංගාව තුළ සිටිනු ඇතැයි පොලීසිය ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව මෙම පාලම් කඩා වැටීමේ අවස්ථාව දරුණු විනාශයක් බවට පත්වීමේ හැකියාවක් පවතින බවත් බැල්ටිමෝර් බලධාරීන් වැඩිදුරටත් පවසා සිටියේය.
1977 වසරේදී විවෘත කෙරුණු මෙම බැල්ටිමෝර් පාලම කිලෝමීටර් 2.6ක දිගකින් යුක්ත වන එක්සත් ජනපදයේ පාලම් අතරින් ප්‍රධානතම පාලමකි. මංතීරු හතරකින් සමන්විත මෙම පාලම මගින් වාර්ෂිකව මෝටර් රථ මිලියන 11 ක් එහා මෙහා ගමන් කරන බව සඳහන් වෙයි.

පාලම් පිළිබඳ විශේෂඥයන් පවසන ආකාරයට මෙවැනි දරුණු ගැටීමකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් මෙම පාලමේ ප්‍රධාන ආධාරක සැකිල්ල ආරක්ෂා කර නොතිබීම මෙවැනි අනතුරකට හේතු වන්නට ඇතැයි සඳහන්ව තිබේ. විශේෂයෙන්ම මෙවැනි දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මත, බහාලුම් විශාල ප්‍රමාණයක් පටවා යාත්‍රා කරමින් තිබෙන අවස්ථාවකදී සිදුවන ගැටීම බරපතල බව මෙම විශේෂඥයන් පවසයි.

ඒ අනුව මෙම අනතුර ඉදිරි විමරශන සඳහා හේතුවනු ඇතැයිද ඔවුන් සඳහන් කර සිටියි.
මේ අතර අනතුරත් සමගින්ම බැල්ටිමෝර්
වරාය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ද
එහි බලධාරීන් තීරණය කර තිබේ. පැටැස්කෝ ගංගාව ආශ්‍රිතව සිදුකරන සෝදිසි මෙහෙයුම් ඊට හේතුව වී තිබේ. නෞකා මෙහෙයුම්වලට වඩා අනතුරට පත් වූ පිරිස් සෙවීම සිය ප්‍රමුඛතාව බව බැල්ටිමෝර් බලධාරීන් පවසා තිබේ.
මේ සමගින්ම වරාය ආශ්‍රිතව අධික නෞකා තදබදයක්ද හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ සඳහන් කළේය.
එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වරායද එරට වඩාත් කාර්යබහුලම වරායක් ලෙස සැලකෙන අතර මෙම නෞකා අනතුරත් සමගින්ම එහි කටයුතු වෙතද බාධා එල්ල වී ඇතැයි වාර්තා පවසයි. මෙය යම් කිසි ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසද මුලින් සිතුවමද පසුව එම අදහස ඉවත් කෙරිණි. එසේම පාලමේ ගැටීමත් සමගින්ම Dali නෞකාවෙන් යම් ඉන්ධන කාන්දුවක් සිදුවන්නේද යන්න පිළිබඳවද ඊයේ දිනය වන විට විමර්ශනය කෙරෙමින් පැවතුණි.