narahenpita-theft

සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරයකුගේ පෞද්ගලික නිවසක තිබූ රේසින් වර්ගයේ පාපැදියක් ඇතුළු දේපළ තොගයක් සොරාගත් පුද්ගලයකු සොරා ගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට රාසික් වත්තේ පදිංචි ( 19 ) පුද්ගලයකු බව පොලිසිය කියයි.විනිසුරුවරයා පදිංචි නිවසට යාබදව ඉදිකරමින් පවතින තෙමහල් ගොඩනැගිල්ලක ආධාරයෙන්

විනිසුරුවරයාගේ නිවසේ තෙවන මහලේ සඳළු තලයට ඇතුළු වී ඊට යාබදව ගබඩා කාමරයක තිබූ රුපියල් 250,000 වටිනා රේසින් වර්ගයේ පාපැදියක් හා කාර්යාල කාමරයේ තිබූ රුපියල් හතළිස් දහසක් වටිනා ෂර්ට් දෙකක් මෙසේ සොරාගෙන ගොස් තිබුණි.



සොරාගත් පාපැදිය විනිසුරුවරයාගේ ව්‍යායාම සඳහා භාවිත කරන එකක් බැවින් සිද්ධිය වූ දිනට පසුදා ව්‍යායාම සඳහා බැහැරට ගෙන යාමට පාපැදිය සොයා බැලීමේ දී තිබු තැන නොතිබීමෙන් සැකසිතී පරීක්ෂා කිරීමේ දී කාර්යාල කාමරයේ තිබූ ෂර්ට් දෙකක් ද සොරාගෙන ගොස් ඇති අයුරු අනාවරණ වීමත් සමග සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් කර තිබිණි.

ඒ අනුව අවට සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේ දී සොරා ගත් යතුරුපැදිය පුද්ගලයකු විසින් පදවාගෙන ගොස් මයුර කෝවිල අසලදී රෝදයේ ඇති වූ අනතුරක් හේතුවෙන් පැය කිහිපයක් ඊට යාබද වෙළඳසලක් අසල නැවතී සිටින අයුරු දැක තිබේ. ඒ අනුව පොලිසිය එම වෙළඳ සැලට ගොස් එහි හිමිකරුගෙන් විමසීමේ දී සැකකරු එම ස්ථානයේ සිට ත්‍රිරෝද රථයකින් පලා ගිය බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.



ඒ අනුව පලා ගිය ත්‍රිරෝද රථයේ අංකය ඔස්සේ විමර්ශනය කොට නාරාහේන්පිට රාසික් වත්තේ නිවසක සැගව සිටිය දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුගෙන් ලද තොරතුරකට අනුව තොටළඟ ප්‍රදේශයේ මිතුරෙකුට රුපියල් ලක්ෂයකට අලෙවි කර තිබූ පාපැදිය සහ ඔහුගේ නිවසේ සගවා තිබිය දී සොරාගත් වටිනා ෂර්ට් දෙක භාරයට ගත් බව පැවසේ.සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අතර ඒ සඳහා මෙසේ භාණ්ඩ සොරාගෙන ඒවා අලෙවි කර අයිස් පානය කිරීමට පුරුදුව ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න