
පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රී ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
එම අවස්ථාවේ සැකකරු විසින් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
පොලිස් වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයකු ද තුවාල ලබා ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පසුගිය 09 වන දින ජා-ඇළ, දඬුගම බස්වත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බව වාර්තා වේ.
සැකකරු 28 හැවිරිදි ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු හමුදා සේවයෙන් පළා ආ අයෙකු බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර 'යුක්තිය' මෙහෙයුම යටතේ දියත් කළ විශේෂ මෙහෙයුමේදී අඟහරුවාදා සිට පාතාලයට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීමට ප්‍රතිචාරයක් ලෙස 'යුක්තිය' වැඩසටහන යටතේ දිවයිනේ හඳුනාගත් සංවිධානාත්මක අපරාධ කල්ලි 20ක් ඉලක්ක කර ගනිමින් විශේෂ මෙහෙයුමක් අඟහරුවාදා දියත් කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval