Dad-doesnt-like-remakes-of-his-songs-Asanka-son-Asantha

 දියණියක් සහ පුතුන් දෙදෙනකුගේ සෙනෙහෙබර පියෙකු වූ අසංක ප්‍රියමන්ත පීරිස්ගේ දරුවන් තිදෙනාම සංගීතයට ගීතයට දක්වන්නේ මහත් ඇල්මක්. අද මේ සොඳුරු කතාබහ අපි ඔබට ගෙන එන්නේ අසංක ප්‍රියමන්ත පීරිස්ගේ වැඩිමල් පුතණුවන් වන අසන්ත ශ්‍රීමාල් පීරිස් සමඟ.

රටේ ජනප්‍රිය ගායන තරුවකගේ පුතෙකු වීම අසන්තට දැනුණේ කොහොමද?

මගෙ තාත්තා ඉගෙන ගත්තේ මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ. මම ඉගෙන ගත්තෙත් ඒ පාසලේමයි

පාසලේ දී තාත්තට තියෙන තැන නිසා මට විශේෂ ආකර්ෂණයක් ලැබුණා. මම අසංක ප්‍රියමන්ත පීරිස්ගේ පුතා කියලා හැමෝම දන්නවා. ඒ එක්කම ඒක වාසියට සහ අවාසියට හිටිය තැනුත් තිබ්බා. කණ්ඩායමක් විදිහට මොකක් හරි නරක වැඩක් කළොත්, ඒ කණ්ඩායම ඇතුළේ මම හිටියොත් එහි ලීඩර් නොවුණත් මම ලීඩර් වෙනවා. ඒ වගේ අවාසි තැන් තිබ්බා. හැමෝගෙම අවධානය මට ලැබුණා.

අසන්ත සින්දු කියන්න ගත්තේ වයස අවුරුදු කියෙදීද?

මම තුන වසරේ වගේ කාලේ ඉඳන් පාසලේ සහ දහම් පාසලේ සමස්ත ලංකා තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා.



ආස කළේ කවදා හරි තාත්තා වගේ රටේ ජනප්‍රිය ගායකයෙක් වෙන්නද?

පොඩි කාලේ ආස කළේ ක්‍රිකට්වලට. දහය ශ්‍රේණිය වෙනකල් මම ක්‍රිකට් ගැහුවා. නමුත් පස්සේ ඒක එහෙම්මම නැති වුණා. මම ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලි කමිනිකේෂන් උපාධියක් හදාරනවා. දැන් අවසන් අදියරේ ඇකඩමික් පැත්ත ඔක්කොම අවසන් කරලා උපාධිය අපේක්ෂාවෙන් ඉන්නේ. මේ මොනවා කළත් මගෙ හිතේ සංගීතයට විශේෂ ආසාවක් තිබුණා.

කොයි කාලේද සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න හිතුවේ?

පාසලේ නවය දහය වගේ ශ්‍රේණිවල දී මට දැනුම් තේරුම් ගියා සංගීත ක්ෂේත්‍රය එක්ක තාත්තා ගත කරන ජීවිතේ ගැන. ඒ නිසාම මමත් ආස කළා ගායන ක්ෂේත්‍රයට. මමත් ආස කළා තාත්තා වගේ සංගීතය නිසා කාර්යබහුල වුණු ජීවිතයක් ගත කරන්න. තවම මම ඒ ජීවිතේ හොයාගෙන යන්න උත්සාහ කරන ගමන් ඉන්නේ.

තාත්තා පොඩි කාලේ දුන්නේ මොන වගේ උපදෙස් ද?

පොඩි කාලේ මම ක්‍රිකට් සෙල්ලම් කරද්දී ඒ වෙනුවෙන් තාත්තා මට උදවු කළා. අදටත් ඉඳලා හිටලා කියනවා දිගටම ක්‍රිකට් ගහන්න තිබ්බේ කියලා. තාත්තා ඒ කාලේ ඉඳන්ම මාව උනන්දු කළේ ඉගෙනීමට. මට ඉගෙන ගන්න පුළුවන් නිසා තාත්තා හැම වෙලාවේම කිවුවේ මුලින් ඉගෙන ගන්න. ඊට පස්සේ මේ තැනට එන්න පුළුවන් කියන එක.

තාත්තා එක්ක වේදිකාව බෙදා ගෙන තියෙන්නේ කොයි වයසේදී ද?

ඒ වගේ දෙයක් මුලින්ම වුණේ උසස් පෙළ කළාට පස්සේ. ඒ වෙනකම් ගෙදර පොඩි පොඩි සාද තියෙන වෙලාවට තාත්තයි මමයි ගීත ගායනා කරලා තියෙනවා. ගොඩක් සෙනඟක් ඉදිරියේ තාත්තයි මමයි එකම වේදිකාවක සින්දු කිවුවේ මම උසස් පෙළ කළාටත් පස්සේ.

අසන්තටම කියලා දැන් සින්දු කීයක් තියෙනවද?

මටම කියලා සින්දු තුනක් කළා. තාත්තා මූලික වෙලා තමයි ඒ ගීත නිර්මාණ කළේ. මහින්ද බණ්ඩාර මහතා සහ ශාන්ත ජයලත් තිසේරා මහතා තමයි ඒ ගී පද සංගීතවත් කළේ. ඊට පස්සේ මේ මෑතක මම සින්දුවක් කළා “ආලේ සීමා” කියලා. තව සින්දු ගොඩක් තියෙනවා හදලා. ටිකෙන් ටික එළියට දාන්න ඉන්නේ. ඒ ඔක්කොම මමම ලියලා මමම තනු නිර්මාණය කරපු ගීත.

තාත්තා ගෙදරදී කොයි වගේ ද?

ඉස්සර නම් වැරැද්දක් කළොත් තාත්තා හරි සැරයි. දැන් නම් තාත්තා ගොඩක් වෙලාවට විහිළුවක් තහළුවක් කරගෙන ඉන්නවා. යාළුවෙක් වගේ ෆිට් එකේ ඉන්නවා.



අසන්ත ඉස්සරහට වැඩි ඉඩක් දෙන්නේ සංගීතයටද?

මගේ ජීවිතේ අවසන් ඉලක්කය වෙලා තියෙන්නේ සංගීතඥයෙක් වෙන එක. ඒ ඉලක්කයට මම කොහොම හරි යනවා.

තාත්තා ගයන ගී ආරය ද ඔබ ගයන්නේ

නැහැ. ඊට වඩා වෙනස්. දැන් තියෙන ජෙනරේෂන් එකත් එක්ක ඒකට ගැළපෙන විදිහට තමයි මම මගේ නිර්මාණ කරන්නේ. තාත්තාගේ සින්දු අහන අයත් තරුණ පරම්පරාව අතරේ ඉන්නවා. මම එක එක ආරෙට ගැයෙන සින්දු අහන කෙනෙක්. වැඩියෙන්ම අහන්නේ ඉංග්‍රීසි සින්දු.

තාත්තාගේ සින්දුවක් රීමේක් කළා නේද?

ඔව්. නුපුරුදු ඔබ දුටු සින්දුව රීමේක් කළා. කවර් සෝන්ග් එකක් විදිහට. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ සින්දුව මගේ යූ ටියුබ් චැනල් එකේ දාලා තියෙනවා.

තව සින්දුවක් රීමේක් කළොත්, මොකක් ද තෝරා ගන්නේ?

සෙනෙහසකට අරුතක් …., කවියක් වගේ… කඳුළු හුරතල්… මේ ගීතවලින් එකක් කරයි.

තාත්තා නිදහස දීලා තියෙනවද?

තාත්තා එතරම්ම කැමති නැහැ ඔහුගේ ගීත රිමේක් කරනවට. හැබැයි කරනවා නම් එයාගෙන් අවසරය ගන්න පුළුවන්. එහෙම ලොකු අවුලකුත් නැහැ.

ආදරේ දකින්නේ කොහොමද?

ආදරේ හොඳයි. මමත් ආදරවන්තයෙක්.

කොහොමද ඇයගෙන් අසන්තට ලැබෙන සහයෝගය?

මගේ ප්ලැන් ඔක්කොම සැලසුම් කරන්නේ එයා එක්ක. එයත් මට එක එක අදහස් දෙනවා. හොඳ සහයෝගයක් ලැබෙනවා.

මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් අහන්න ලැබෙයිද?

අනිවාර්යයෙන්ම. මේ ටිකේ මම මගේ අලුත් සින්දුවක් කරගෙන යනවා. ඒක බොහොම ඉක්මනින් අහන්න ලැබෙයි. තව සින්දු දෙක තුනකුත් කරගෙන යනවා. ඒ එක්කම පවුලේ ගී ප්‍රසංගයකටත් සූදානම් වෙමින් ඉන්නේ “සෙනෙහසකට අරුතක්” නමින් මැයි 11 නෙළුම් පොකුණේ දී. එකේදී තාත්තා එක්ක අක්කත් මමත් මල්ලිත් සින්දු කියනවා.

(අනුෂා රණසිංහ - රසඳුන)