An-allowance-for-those-who-do-not-use-polythene-bags

 පොලිතින් මලු (ෂොපින් බෑග්) නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් දීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී ඇත.

මේ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා කාරක සභාවට කැඳවන බව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය අධෛර්යමත් කිරීමෙන් පරිසරය ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.



සුපිරි වෙළෙඳසල්වලින් නිකුත් කරන පොලිතින් මලු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම වෙළෙඳසල් හිමියෝ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබූහ. ඔවුන් මෙම එකගත්වයට පැමිණියේ ඒ අවස්ථාවේදීය.පොලිතින් මලු නොගන්නා පාරිභෝගිකයන්ට දෙන දීමනාව එහි මුදල් කවුළුවල ප්‍රදර්ශනය කරන්නැයිද කමිටු සභාපති අජිත් මාන්නපෙරුම මහතා නිර්දේශ කළේය. මේ අතර ඇඳුම් සාප්පු වලින් පාරිභෝගිකයන්ට දෙන පොලිතින් බෑග් වෙනුවට කඩදාසි බෑග් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම වෙළෙඳසල් හිමියන් පිරිසක්ද ආංශික අධීක්ෂණ කාරක සභාවට 21 වැනිදා කැඳවා ඇත.



තවද ප්ලාස්ටික් බෝතල් වලට කිව් ආර් කේතයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගකිවයුතු ආයතන ප්‍රධානීන් ලබන 19 වැනිදා කැඳවූ බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.

සුජිත් හේවාජුලිගේ