A-tense-situation-on-the-university-ground-in-the-morning-after-the-sudden-death-of-the-Kelani-student-at-night

කැලණිය විශ්ව විද්‍යාලයේ කන්නන්ගර සිසු නේවාසිකාගාරයේ නවාතැන්ගෙන සිටි සිසුවකු  ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙන අතර සිසුවාට ඉක්මන් ප්‍රතිකාර ලබාදීමට සරසවි බලධාරීන් අපොහොසත්වීම පිළිබඳව අද උදෑසන සිට සහෝදර සිසුන් විරෝධතාවක් අරඹා තිබේ.
සාමාජීය විද්‍යා පීඨයේ හතරවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මොණරාගල ප්‍රදේශයේ සිට

පැමිණි සිසුවෙකු ඊයේ රාත්‍රී හදිසියේ පපුව රිදෙන බව පවසමින් උදව් ඉල්ලා තිබුනේ කන්නන්ගර සිසු නේවාසිකාගාරයේදීය. එහිදී ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සිසු සගයින් උත්සාහ කර තිබෙන අතර නේවාසික සිසුන් භාර පරිපාලන නිලධාරියාට (වෝඩන්) ඒ බව දැනුම්දී තිබේ. කෙසේ වෙතත් අවශ්‍ය පරිදි ක්‍රියා කර නැති මෙම නිලධාරියා ගිලන් රථයක් ගෙන්වීමට බොහෝ සේ ප්‍රමාද කර තිබේ. පාන්දර ගිලන් රථයක් පැමිණි නමුත් කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙදි සිසුවා මියගොස් ඇත. තමන් සතුව ඉක්මණින් එවන් දෙයක් කරන්නට පහසුකම් නැති බවත් කරන්නට දෙයක් නැති බවත් පරිපාලකයා පවසා තිබේ.
පරිපාලන නිලධාරියාගේ නොසැළකිලිමත්කම හේතුවෙන් සිසුවා මරණයට පත්වූ බව සිසුන්ගේ චෝදනාවයි.
ඒ නිසා කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ එහි සිසුන් විරෝධතාවක් ආරම්භ කර තිබෙන අතර පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට සිට විරෝධතා පාඨ කියවමින් සිටී. අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම් හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවට විශ්වවිද්‍යාල සිසුහු චෝදනා කරති.ඒ අනුව මේ වන විට සිසුන් 150 දෙනෙකු පමණ විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.


සරසවියේ හදිසි ප්‍රතිචාර පහසුකම් වැඩිදියුණු කරන ලෙස ඉල්ලා ඇති අතර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ හදිසි සේවාවල ප්‍රමාණවත් නොවන බව පිළිබඳ සිසුන්ගේ කනස්සල්ල පළ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝ සිසුන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. කෙසේ වෙතත්, සිසුන්ගේ ගැටලු විසඳීමට සහ අනාගතයේදී එවැනි ඛේදවාචක වළක්වා ගැනීමට ස්ථිර පියවර ගන්නා තෙක් විරෝධතාව දිගටම කරගෙන යාමට අපේක්ෂා කරන බව සිසු නියෝජිතයින් දන්වා ඇත.