agalawatte-oic

පාතාල සන්නද්ධ කණ්ඩායම් සමග සමීප සබදතා පැවැත්වීම, ඔවුන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා  ගණනාවක් සම්බන්ධයෙන් අගලවත්ත පොලිස් ස්ථානාධිපති හෙට්ටිආරච්චි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇත.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින රත්මලාන පාතාලයේ අපරාධකරුවකු බව කියන ධර්මසිරි නමැත්තා සහ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි අතර අතර වූ සංවාදයකට අදාළ හඬපටයන් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වන අතර

එම හඬපටය ඔස්සේ මෙම නිලධාරියාගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.මෙම සංවාදය සිදුවූ 2020 වර්ෂය වනවිට එම ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය භාර නිලධාරියා ලෙස කටයුතු කරමින් සිට ඇත.මෙම නිලධාරියාගේ පාතාල සම්බන්ධතාවන් අනාවරණය වීමෙන් පසු එවකට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි රොහාන් පේ‍්‍රමරත්න මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ඔහුට එරෙහිව විමර්ශනයක් භාරදී තිබිණි.

එහෙත් මෙම නිලධාරියා එවකට පොලිස් දෙපාර්තමේන්තුවේ සිය ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගේ ආධාර උපකාර ඇතිව විශේෂ විමර්ශන ඒකකයේ තිබූ ඔහුට එරෙහි විමර්ශනය යට ගසා අගලවත්ත පොලිස් ස්ථානාධිපති ධුරය ද ලබාගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.මෙම නිලධාරියාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරු මත මූලික විමර්ශනයක් ආරම්භ කෙරිණි.



එහිදී ිඅනාවරණය වී ඇත්තේ මොහු රත්මලාන පාතාලයේ ධර්මසිරි සහ කුඩු අංජු සමග සමීප සම්බන්ධතා පවත්තා ඇති බවයි.කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සමග උරණ වී ඇති පාතාල නායක ධර්මසිරි නමැත්තා මොහුට ඉතාම නින්දිත ආකාරයට පරුෂ වචනයෙන් බැණවදින ආකාරයත්, ඒ අවස්ථාවේ මෙම නිලධාරියා ඉතාම බයාදු ආකාරයට පාතාල මැරයා ඉදිරියේ සමාව යදිමින් ආයාචනා කරන ආකාරයත් මෙම හඬපටයේ ඇති බව පොලිසිය පවසයි.පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම නිලධාරියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම විශේෂ විමර්ශන ඒකකය හරහා ද විමර්ශනයක් සිදුකරන බවයි.එමෙන්ම මෙම නිලධාරියාට එරෙහිව 2021 වර්ෂයේ සිදුකළ විමර්ශනය යටගසා ඔහුට පොලිස් ස්ථානාධිපති ධුරයක් ලබාදීමට කටයුතු කළ එවකට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි උසස්ම නිලධාරියකුට එරෙහිව ද විමර්ශනයක් ක‍්‍රියාත්මක කර ඇත.



මෙම නිලධාරියාගේ වත්කම් පිළිබඟව සෙවීමට ද විමර්ශනයක් කි‍්‍රයාත්මක කර තිබේ.පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙම විමර්ශන ක‍්‍රියාත්මක වෙයි.මේ අතර ගල්කිස්ස කොට්ඨාසයේ පාතාලය සමග සබඟතා පැවැත්වූ පොලිස් නිලධාරීන් සිව් දෙනකුම මාරුකර යැවීමට මෙන්ම ඔවුන්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමට ද ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා කටයුතු කර තිබිණි.
හේමන්ත රන්දුණු