
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 15 මාස 03 වයසැති පිරිමි ළමයෙකුට මොනරාගල රෝහල් පොලිසියේ කොස්තාපල්වරයකු විසින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳ මොනරාගල කොට්ඨාසයේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මඟින් පරීක්ෂණයක් ආරම්භකර ඇත.
අතවරයට පත්වූ ළමයා පහරකෑමක් සම්බන්ධයෙන් මාර්තු 16 වෙනි දින වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුදින 17 මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර තිබේ.
රෝහලේ 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ළමයාගෙන් එදින රාත්‍රී මොනරාගල රෝහල් පොලිසියේ කොස්තාපල්වරයා විසින් නාන කාමරයට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බවට ළමයා විසින් වාට්ටු භාර වෛද්‍යවරයාට දැනුම් දී ඇත. ඒ බැව් වෛද්‍යවරයා විසින් රෝහල් පොලිසියටත් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් දැනුම් දී තිබේ. සිද්ධිය යටපත් කිරීමට මොනරාගල රෝහල් පොලිසියේ උසස් නිලධාරීන් කටයුතු කර ඇත.
සිද්ධියට සම්බන්ධ යැයි සැලකෙන පොලිස් කොස්තාපල්වරයා තාවකාලිකව මොනරාගල මූලස්ථාන පොලිසියට අනුයුක්ත කර තිබේ.
මේ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී නිසංසලා ලක්මාලී මහත්මියගෙන් කළ විමසුමක දී පැවසුවේ එවැනි සිද්ධියක් පිළිබඳ දැනගන්නට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.
මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පිට මොනරාගල ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සුලේකා මහත්මිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
(ඩී. එස්. ගුණතිලක)
Comments
Post a Comment
Your comment will be visible after approval