sri-lanka-red-rice

බත් අනුභව කරන සියලු රටවල පරිභෝජනයට සුදුසුම සහල් විශේෂය ශ්‍රී ලංකාවේ රතු සහල් ලෙස නම් කරන මෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද  අමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 37වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට පසුගිය 21දා යෝජනා කළේය.

එම සමුළුවේ අවසන් දින වැඩ සටහන් ඊයේ පෙරවරුවේ ආරම්භ වූ අතර එහි දී One Country, One priority crop තේමාව යටතේ එක් රටක්, එක මූලික බෝගයක් වැඩ සටහන පැවැත්විණ. එහිදී අමාත්‍යවරයා මෙම යෝප්නාව ඉදිරිපත් කර සිටියේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙසිනි.



ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුමතිය ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාව රතු සහල් වගා කරන ලෝකයේ එකම රට ලෙස ඊට අවශ්‍ය පියවර ගැනීමට සුදානම් බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.එසේම මෙතෙක් ලෝකයේ වී වගා කරන කිසිදු රටක මෙරට රතු සහල් වැනි පෝෂණ මට්ටමින් ඉහළ සහල් විශේෂයක් නිෂ්පාදනය නොකෙරෙන බව වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, එම සහල් පහසුවෙන් වගා කළ හැකි වීමත්, කෙටිකලකින් පරිභෝජනයට ඇබ්බැහි කරවීමට ඇති හැකියාවත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතට පමණක් සීමාව තිබු රතු සහල් මේ වනවිට සමස්ත රට පුරාම වගා කරන සහල් ප්‍රභේදයකි. එමෙන්ම මේ වන විට බොහෝ දෙනෙකු බහුලව පරිභෝජනය කරන සහල් ප්‍රභේදය බවට රතු සහල් පත්වී තිබේ.මෙම සහල් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ හැර අන් කිසිදු රටක වගා නොකරන අතර දියවැඩියාව වැනි බෝ නොවන රෝග රැසක් වළක්වා ගැනීමට භාවිත කෙරේ.



සමුළුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද  අමරවීර මහතා පෙන්වා දුන්නේ විටමින්, ඛනිජ ලවණ මෙන්ම තන්තුමය කොටස් බහුල වශයෙන් පවතින ලොව එකම සහල් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ රතු සහල් වන බවට සෞඛ්‍ය අංශ සනාථ කර ඇති බවයි.
 නිදර්ශනී වික්‍රමසිංහ