samitha-son-shane-speaks

ශේන් අධිකාරි මේ නමට වඩා රූපය බොහෝ දෙනෙකුට හුරුපුරුදුයි. ඊට හේතුව ලංකාවේ අති දක්ෂ හා ජනප්‍රිය ගායක යුවළකගේ පුත් ඔහු නිසා. සමිතා මුදුන්කොටුව හා අතුල අධිකාරි ගේ පුත් ශේන් කලාවට සම්බන්ධ නොවුණත් බොහෝ දෙනෙක් ඔහුව හඳුනනවා.

ගායිකාවක් පෙම්වතිය කරගත්තා කියන රාවයත් එක්ක වගේම ඔහු ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණා. මේ ශේන් අධිකාරි කියන කතාවයි.

ශේන් අපි මුලින්ම කතා කරමු ඇයි පවුලේ හැමෝම කලාවට සම්බන්ධ වෙද්දී ශේන් විතරක් ඉන් පිට පැන්නේ කියලා ..?

අම්මියි, තාත්ති වගේම අක්කි සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා. අලුත් දේවල් කරනවා. මම එයාලා ගැන සතුටු වෙනවා. මම කලාවට කැමැතියි. ඒත් එහි නියැළෙන්න ආස නැහැ . ඒ නිසා තමයි මම කලාවට සම්බන්ධ නොවී ඉන්නේ.

ඒ කියන්නේ කවදාවත් ගායකයෙක් වෙන්නෙ නැහැ කියන එකද?

ඔව්. මම ඒ පැත්තට යොමු වෙන්නේ නැහැ.



පවුලේ හැමෝටම රසට ගයන්න පුළුවන් වෙද්දී ඔබට ගැයීමේ හැකියාවක් නැහැ කිවුවොත් ඒක බොරුවක් නේ..?

මට සින්දු කියන්න පුළුවන්. ඒත් මගේ අරමුණ ගායකයෙක් වෙන එක නෙමෙයි. මට ගායකයෙක් වෙන්න කියලා කවදාවත් මවුපියන් බල කරලත් නැහැ. මම ආස දේ කරන්න කියලා තමයි නිතරම කිවුවේ.

ඒ නිසාද ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ..?

ඔව්. මගේ ආසාව ක්‍රිකට් ක්‍රීඩා කරන එක. මම ඉගෙන ගත්තේ ගේට්වේ කොලේජ් එකෙන්. පාසලේදි මම ආසාවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ වගේම මම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහත්මයාගේ ඇකඩමි එකේ ක්‍රිකට් ක්‍රීඩා කළා. දැන් මම කෝච් වජිර සම්පත් යටතේ පුහුණු වෙනවා. පන්දු යවන්නෙක් විදිහට ක්‍රීඩා කළ මාව තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කරේ වජිර සර්. මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙක්ටම කැමැතියි. ඔවුන් ක්‍රිඩා කරන මැච් මම බලනවා. විශේෂයෙන්ම මම ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Nathan Michael Lyon ව ෆලෝ කරනවා. ඒ වගේම කියන්න ඕන මම ටිකක් කම්මැළි කෙනෙක්. චිරන්ත අයියා තමයි මාව උනන්දු කරන්නේ මගේ වැඩවලට. එයා මගේ පස්සෙන් ඉඳලා ගොඩක් උදව් කරනවා. එයා ගොඩක් වෙලාවට මාව පුහුණුවීම් සඳහා එක්කගෙන යනවා.

ඒ කියන්නේ ශේන්ව ඉදිරියේ දි ක්‍රිකට්වලින් දකින්න ලැබෙයි..?

ළඟදීම මම ක්‍රිකට් ක්ලබ් එකකට සෙල්ලම් කරන්න ඉන්නේ. වැඩිපුර කැපවීම් කරලා ක්‍රිකට් ක්‍රීඩාව හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා. හදිස්සියක් නැහැ මේ ගමන හිමින් යනවා.



ඔබ පුංචි කාලේ මවුපියන් කාර්‍යබහුලයි, මවුපියන් මඟ හැරෙද්දි මොකද හිතුණේ..?

කවදාවත් අම්මිගේ තාත්තිගේ ආදරේ වෙනසක් වෙලා නැහැ. කාර්‍යබහුල වුණත් මාවයි අක්කිවයි මඟ හැරියේ නැහැ. එයාලා ගිය ගොඩක් ප්‍රසංගවලට අපි දෙන්නව අරන් ගියා. තාත්ති අපිත් එක්ක නොහිටියත් එයා මට හරි ආදරෙයි. අක්කි විවාහ වෙලා කොහේවත් ගියේ නැහැ. ඉන්නේ අපේ ගෙදර. ධනිදු අයියත් අපි හැමෝමත් හරිම සතුටින් ජීවත් වෙනවා. ධනිදු අයියා ගිටාර් ක්ලාස් කරනවා. එයා මටත් පුරුදු කරනවා. මම ඉස්කෝලේ යද්දී කීබෝඩ් ප්ලේ කරා. එදා වගේම මටවත් අක්කිටවත් ජීවිතේ මඟ හැරිලා නැහැ.

ශේන් මේ දවස්වල හැමෝම අතරේ කතාබහට ලක් වෙන චරිතයක් වෙලා..?

ඒ මොනවා නිසාද කියලා මමත් දන්නවා. ඒ ඡායාරූප ගැන බොහෝ දෙනෙක් කතා කළා. ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් ප්‍රතිචාර මටත් ආවා.

ඇත්තටම ඇය ඔබේ කවුද? මේ දවස්වල විදුෂා රාජගුරුත් ඩ්‍රීම් ස්ටාර් දෙවැනි තැන හිමි කරගත් නිසා කතාබහට ලක් වූ රියැලිටි තරුවක්..?

විදුෂා මගේ විශේෂ කෙනෙක් නෙමෙයි. මම විශේෂයෙන් කියලා එයාගේ සින්දු අහන්නෙත් නැහැ. එහෙම විශේෂත්වයකුත් නැහැ .

ඒ කියන්නේ ඇය ඔබේ පෙම්වතිය නෙමෙයි ..?

එයා පෙම්වතිය නෙමෙයි. එයා මගේ යාළුවෙක්. අම්මියි තාත්තියි අක්කියි එකතු වෙලා කොළඹ කරපු ෂෝ එකට මගේ යාළුවෝ ගොඩක් ආවා. මට ටිකක් වැඩිපුර ගැහැනු යාළුවෝ ඉන්නවා. එයත් එහෙම කෙනෙක්. එයා ෂෝ එකට ආපු වෙලාවේ අපි දෙන්නා ෆොටෝස් ගත්තා. ඒවා කිහිපයක් සෝෂල් මීඩියා ශෙයාර් වුණා. එයා මගේ පෙම්වතිය කියලා. පවුලේ හැමෝම සංගීතයට සම්බන්ධ නිසා මමත් ගායිකාවක් එක්ක ආදර සම්බන්ධයක් පටන් අරගෙන කියලා රාවයක් ගියා. ඒත් ඒක බොරුවක්. එයා මගේ යාළුවෙක් විතරයි.
( හර්ෂණී වීරරත්න -රසඳුන)