ronnie-de-mel-passed-away

හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ඊයේ (27) මියයන විට 98 වන වියෙහි පසුවිය.
1925 වර්ෂයේ අප්‍රේල් මස 11 වැනි දින උපත ලැබූ රොනී ද මැල්
 ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන්ද පසුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ පරිපාලන නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිට දේශපාලනයට සම්බන්ධ විය.


පුත්තලම කච්චේරිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව කම්කරු හා සමාජ සේවා අමාත්‍යාංශය හා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ ඔහු කටයුතු කළේය.
1965 මහ මැතිවරණයට බිබිලෙන් ශ්‍රීලනිප යටතේ තරග වැදී ඔහු මුලින්ම පරදී.  දෙවනුව 1970 මහ මැතිවරණයට දෙවිනුවරින් තරග වැදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වේ. 1977 දී ඔහු එජාපය යටතේ දෙවිනුවරට යළි පත්වේ.

 1978 වර්ෂයේදී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ලෙස  කටයුතු කළේය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අයවැය එකොළහක් ඉදිරිපත් කළ එකම මුදල් අමාත්‍යවරයා ද රොනී ද මැල් ය.
දේශපාලනික පිල් මාරු කිරිමට නිරන්තරයෙන් කටයුතු කරන්නෙකු ලෙස ප්‍රකට රොනී ද මැල් අවස්ථා ගනනාවකදී පක්ෂ මාරු කළ අතර පක්ෂ මාරු දේශපාලනය ඔහු අන් අයටද ඉගැන්වූ බවට මතයක් තිබේ.


1988 දී දේශපාලනයෙන් කෙටි කලකට විරාමයක් ගත් ඔහු මුදල් ඇමති ධූරයෙන් ඉවත්වී 1993 තෙක් විදෙස් ගතව සිටී. ඔහු ආර් ප්‍රේමදාස යුගය මගහැරියේය. 1994 හා 2000 මැතිවරණවලදී මාතරින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වේ.
2005 වසරේදී දේශපාලනයෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගත් රොනී ද මැල් 2005 සිට 2010 දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන් ද කටයුතු කළේය.
අනතුරුව විවේක සුවය විඳිමින් කොළඹ 3 පෞද්ගලික නිවසේ පදිංචිව සිටියේය.
ඔහුගේ බිරිද වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මල්ලිකා ද මැල් 2009 වර්ෂයේදී අභාවප්‍රපාප්ත වූවාය.
රෝනී ද මැල් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.