කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්ය වරියක ලෙස සේවය කළ ලක්මිණි බෝගමුව පසුගියදා අවාසනාවන්ත රිය අනතුරකට ලක්ව ජීවිතය හැර ගියාය. මියයන විට ඇගේ වයස 27 ක් පමණි.
 බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ පදික මාරුව අසලින් මාර්ගය හරහා මාරු වෙද්දී ලොරියකට යටවීමෙන් ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇය රැකියාවට යෑම සඳහා වික්‍රම සිංහපුර දෙස සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරු වීමට යෑමේ දී බත්තරමුල්ල පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇඳ වැටී ඇති බවත්

ඒ අවස්ථාවේදීම ආසන්නයේම පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.
 බත්තරමුල්ල වික්‍රමසිංහපුර 10 වැනි පටුමග පදිංචිව සිටි ලක්මිණි බෝගමුව සහය කථිකාචාර්යවරියක ලෙස කොළඹ විශ්වවිදයාලයේ සේවය කළ අතර ඇගේ පියා සිනමා හා වේදිකා නිර්මාණ ක්ෂෙත්‍රයේ නමක් දිනූ කැලණිය විශ්ව විද්‍යාලයේ රංග කලා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුවයි.චන්ද්‍ර සිරි බෝගමුව මහතාගේ එකම දරුවා වන්නේද ඇයයි.

2017 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක දී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින්

කණ්ඩායමේ හොඳම ශිෂ්‍යාව වූ ඇය කොළඹ විශ්ව විද්‍යාලයේනර්තනයට ගායනයට වාදනයට දක්ෂ ශිෂ්‍යාවකද විය.
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්ව විද්‍යාලයට තේරී 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක් වූ ශිෂ්‍යාවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ කුසලානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මගින් ලබා දුන් ශිෂ්‍යත්වයට හිමිකම් කීමටද සමත් වූවාය.
තමන් සමඟ එකට ඉගෙනුම ලැබූ සහෝදර සහෝදරියන්ගේ මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ද නොමද ආදරය දිනාගත් තරුණියක වූ ලක්මිණි බෝගමුව ආසන්න කාලයේ විවාහ දිවියට ඇතුළත්වීමට සූදානම්ව සිටි බවද පැවසිණි.

ලක්මිණි චුලෝත්තමා බෝගමුවගේ අවසන් කටයුතු  අද (21) සවස 5 ට තලවතුගොඩ වැලි පාර පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතය.