kanchana-speaks

විදුලිබල අමාත්‍යාංශය මීට පෙර බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි මුදලකින් විදුලි බිල පහත දැමීම කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
    ඒ අනුව විදුලිබල මණ්ඩලයේ යෝජනාව ලැබුණු පසු විදුලි බිල අඩු කිරීම සදහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බව ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සදහන් කළේය.


 එහිදී වැඩිදුරටත් අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

    "පසුගිය දෙසැම්බර් මාසයේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා පෙබරවාරි මාසයේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව දීලා තියෙනවා මහජන උපයෝගිතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශ්වයන්ගෙත් විදුලි බිල සම්බන්ධයෙන් තියෙන යෝප්නා, ඔවුන් දකින ගැටලු පිළිබඳ යෝජනා අපට ලබා දෙන්න කියලා. ඒ සාකච්ඡාවට විවිධ පාර්ශ්ව සම්බන්ධ වුණා.

    විශ්වවිද්‍යාල නියෝජනය කරන  ඉංජිනේරු සංගම්, ඉංජිනේරුවන්, විදුලිබල ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් ඇතුළු 40ට ආසන්න පිරිසක් සම්බන්ධ වුණා. ඔවුන් යෝජනා ලබා දුන්නා. ඒ වගේම පසුගිය 15 වැනිදා මහජන උපයෝගිතා කොමිසම මහජන අදහස් සඳහා විවෘත කළා.

එහිදීද යම් යම් අදහස් දීලා තියෙන්වා. ඒ අනුව මේ අදහස් දෙකම එකතු කරලා අමාත්‍යාංශයෙන් උපදෙස් දීලා තියෙනවා විදුලි බල මණ්ඩලයට.   ඒ අනුව සංශෝධනය කරපු විදුලි ගාස්තු අය කිරීම ගැන යෝජනාව මම හිතනවා බදාදා හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලය ලබා  දෙන්න කටයුතු කරයි. අප මීට පෙර බලාපොරොත්තු වුණාට වැඩිය අඩු කිරීමක් විදුලි බිල තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාව අපි මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරනවා. ඒ  අනුව ඔවුන්ගේ යෝජනාව සඳහාත් තීරණය ගනියි.”

 දිනේෂ් සමරකෝන්