lady-ridgway-incident

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු දෙහැවිරිදි දැරියක මිය යෑමේ සිද්ධිය අපරාධයක් නම්, ශල්‍ය වෛද්‍යවරයා ඇතුඵ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා බොරැල්ල පොලිසියට 21දා නියෝග කළේය.වකුගඩු අසාත්මිකතාවක් හේතුවෙන් රෝහලට ඇතුළත් කළ දැරිය වකුගඩු දෙකම අහිමිව මිය යෑම මනුෂ්‍ය ඝාතනයක් බව පෙන්වා දෙමින්, මේ වන විට රටින් පැන ගොස් සිටින සැත්කම කළ වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.



කොටහේන ප්‍රදේශයේ පදිංචි යුවළකගේ අවුරුදු දෙකක් වයස හම්දි නමැති දැරියගේ වම් වකුගඩුව අක්‍රිය වීම හේතුවෙන් එය ඉවත් කිරීමට කළ ශල්‍යකර්මයෙන් මාස හයකට පසු ඇගේ දකුණු වකුගඩුව ද නොමැතිව මියයෑම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් බොරැල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක එම්. වී. දයාසිරි මහතා කරුණු ඉදිරිපත් කළේය.

2022 දෙසැම්බර් 22 වැනිදා වම් වකුගඩුවේ සංකූලතාවක් හේතුවෙන් දැරිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, එය අක්‍රිය තත්වයේ පවතින හෙයින් ඉවත් කළ යුතු බවට හරින් විජයකෝන් ශල්‍ය වෛද්‍යවරයා දැනුම් දීමෙන් අනතුරුව, එක් වකුගඩුවක් ඉවත් කිරීමට ශල්‍යකර්මය කළ බවත්දැනුම් දුන් පොලිස් පරීක්ෂක දයාසිරි මහතා, මාස හතක් රෝහලේ ප්‍රතිකාර ලැබූ දැරිය මිය යන විට වකුගඩු දෙකම අහිමිව තිබූ බව සැත්කම සඳහා සහාය දැක්වූ ළමා රෝහලේ වාට්ටු භාරව කටයුතු කළ හිටපු වෛද්‍ය ගාල්ලගේ මහත්මිය පසුගිය නඩු වාරයේදී සාක්ෂි දෙමින් පැවැසූ බවත් දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය අපරාධයක් බව අනාවරණය වුයේ නම්,ඒ සම්බන්ධයෙන් පියවර නොගත්තේ මන්දැයි මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිස් පරීක්ෂක එම්. වී. දයාසිරි මහතා, දැරිය මියගිය පසුව පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ප්‍රකාශ සටහන් කළ බවත්, ඒ වන විටත් වෛද්‍යවරයා රටින් ගොස් තිබූ බවත් පැවැසීය.


මහේස්ත්‍රාත්වරයා: “මෙවැනි අපරාධයක් කරලා පිටරටකට ගිහින් ඉන්න පුළුවන් ද?"



පොලිසිය: “අධිකරණයේ නියෝග පරිදි කඩිනමින් පියවර ගැනීමට කටයුතු කරනවා."

මහේස්ත්‍රාත්වරයා: “අපරාධයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, අවශ්‍ය පියවර ගැනීමට පොලිසියට අධිකරණ නියෝග අවශ්‍ය වන්නේ නැහැ.වෛද්‍යවරයා  ඉන්න රට දැන් දන්නවා නම්, වහාම ඒ සඳහා පියවර ගැනීමට අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්න. මම වහාම නියෝග නිකුත් කරන්නම්. දැනට මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය යනවා. ඒ මරණ පරීක්ෂණයටත් මේ වෛද්‍යවරයා අවශ්‍යයි නේද?"
නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 27 වැනිදාට නියම කෙරිණි.

( රෝෂන් තුෂාර )